අමාත්‍යාංශවල වියදම් පිළිබඳ සමාලෝචනයට මුදල් අමාත්‍යාංශය යටතේ මධ්‍යගත ඒකකයක්…

December 15, 2016

අමාත්‍යාංශවල වියදම් පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා මධ්‍යගත ඒකකයක් පිහිටුවීමේ අවශ්‍යතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කිරීම වඩාත් ප්‍රායෝගික වන බවයි. 2017 අයවැය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා අද (14) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

2017 වසරේ ජනවාරි පළමු වැනිදා සිට ම අමාත්‍යාංශවලට අදාළ මුදල් වෙන් කිරීම් සිදු කෙරෙන බවත්, ඒ අනුව ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා මුදල් කඩිනමින් ලබා ගෙන ඊට අදාළ වැඩසටහන්  ආරම්භ කරන ලෙසත් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී සියලු අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා සිටියේ ය. මේ අතර සෑම මාස තුනකට ම වරක් එක් එක් අමාත්‍යාංශයේ වියදම් පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු අතර, කිසියම් ගැටලුවක් වේ නම් ඊට වඩාත් ම ප්‍රායෝගික විසඳුම් සොයා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දෙන ලදී. 2017 වසර රටේ දුප්පත්කම අවසන් කිරීමේ ප්‍රවේශ වසර ලෙසත්, පුළුල් ආර්ථික වැඩපිළිවෙළක ආරම්භය සනිටුහන් කෙරෙන වසර ලෙසත් හඳුන්වා දී ඇති බැවින්, රජයේ එම සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයාගේ වෘත්තීය නිපුණතාව අතිශය සැලකිල්ලට ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ජාතික සැලසුම් ප්‍රතිපත්තිය යටතේ අමාත්‍යාංශවල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී එය විනිවිධභාවයකින් පවත්වා ගැනීම සිදු කළ යුතු ය. 2017 වසර වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබා දෙනු ලබන්නේ හදිසි ආපදා තත්ත්වයන් යටතේ දී පමණක් බව ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහි දී අවධාරණය කළේ ය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා ද එක් ව සිටියහ.

 

 

t

o

p