දේශීය කලාවට අත හිත දීම

December 15, 2016

පසුගිය සතියේ 45 වසරක රංගාවතරණයේ යෙදුනු සමදරා ආරියවංශ මහත්මියගේ “රඟමඩලේ සමදරාවෝ” උපහාර උළෙලක් මරදාන ටවර් රඟහලේදී පැවැත්විනි. සමදරා ආරියවංශ මහත්මිය වසර 45 ට අධික කාලයක් රංගනයේ යෙදුනු ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණියකි.

මේ වන විටත් ඇය ප්‍රසිද්ධ නාට්‍යයන් 200 ට අධික ප්‍රමාණයක සිය රංගනයෙන් දායක වී ඇති අතර සිනමාව, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය ආදියෙහි කීර්තිමත් රංගධරයෙකි. සයිමන් නවගත්තේගම මහතා අධ්‍යක්ෂණය කළ සුභ සහ යස නාට්‍යයේ දර්ශනවාර 500 ට අධික ප්‍රමාණයකට සමදරා රංගනයෙන් දායක වී ඇති ශිල්පිනියකි.

ඇයට උපහාර පිණිස සංවිධානය කර තිබු රඟමඩලේ සමදරාවෝ උපහාර උළෙල ධෙර්යමත් කිරිම සඳහා මමද එම අවස්ථාවට එක් වුනෙමි. මේ සඳහා සහභාගි වූ පසු එහි දේශන පැවැත් වූ ජයන්ත චන්ද්‍රසිරි, ශ්‍රීයන්ත මෙන්ඩිස් වැන්නවුන් අද පවතින නාට්‍ය කලාව පිළිබඳව සඳහන් කළ දෑ අප නැවත නැවත සිතිය යුතුය.

ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය කලාව ආරක්ෂා වී පෝෂණය වී ඇත්තේ එම කලාවට ආදරය කරන කලාකරුවන් හේතුකර ගෙනය. විවිධ තේමාවන් මුල් කර ගෙන නාට්‍ය නිෂ්පාදනය කළද ඒවා පවත්වාගෙන යාමේ දුෂ්කරතාවය හා අනුග්‍රහකයන් නොමැති වීම හේතුවෙන් මෙම ක්ෂේත්‍රයට වන බලපෑම සුළු පටු නොවේ. ලාබ අපේක්ෂාව ඉලක්ක නොකර ගත් නාට්‍ය කලාව අද පත්ව ඇත්තේ අසරණ තත්ත්වයකටය.

කලාවට අතහිත දුන් වකවානුව ලෙස කලාකරුවන්ගේ මතකයේ රැදෙන සමීපතම කාලපරිච්ඡේදය වන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලසීමාවයි. එතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටින වකවානුව තුළ ගම්උදා ව්‍යාපාරය හරහා කලාව පෝෂණය කිරිමට මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළේය. ටවර් හෝල් රඟහල මෙන්ම එල්පින්ස්ටන් රඟහල වැනි පැරණි කලා නිකේතන වැඩි දියුණු කරමින් එහි පරිහරණය පුළුල් කළේය.

“මාවතේ අපි” නමින් පදික වේදිකාවල ජිවත් වූ කුසලතා ඇති කලාකරුවන්ට අතහිත දුන්නේය. ටවර් හෝල් පදනම හරහා අසරණ කලාකරුවන්ට මාසික දිමනාවක් ලබාදීමට පියවර ගත්තේය. හිසට වහලක් නොමැති කලාකරුවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති ආරම්භ කළේය. එහෙත් අද වන විට එම වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක නොවේ.

රටක සංවර්ධනය මෙන්ම සමාජ සංවර්ධනය ද ඉතා වැදගත් ය. කලාව මානසික ඒකාග්‍රතාවය සමබර කිරිමේ සංකේතයකි. එය බටහිර රටවල් හොදින් හදුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ අපිට උරුම වූ සංස්කෘතියක්, කලාවක් තිබුණ ද ඒවා ඉදිරියට ගෙන යාමට වත්මන් පරපුර උනන්දු කරවන රාජ්‍ය වැඩපිළිවෙලක් හෝ අනුග්‍රහයක් නොමැතිවීම කණගාටුදායකය.

අද බොහෝ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය බිහි වී තිබුණ ද ඒවායින් සාම්ප්‍රදායික කලාවන් ඉදිරියට ගෙන යාමට දක්වන ආකල්පය ඉතා සුළුය. අවම වශයෙන් මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් යමක් කළ හැකි අංශ පවා නිහඩව සිටිම පුදුම සහගතය.

සමදරා ආරියවංශ මහත්මියගේ උපහාර උළෙල සංවිධානය කර තිබුණේ එතුමියගේ හිතවතුන්ය. එම උත්සවය වාර්තා කිරිමට කිසිදු මාධ්‍යයක් පැමිණ නොසිටිමම මෙයට දෙන සැලකිල්ල තේරුම්ගත හැක. එහිදි ප්‍රකාශ වූ පරිදි ඇය පිළිබඳව වාර්තාමය වැඩසටහනක් ප්‍රචාරය කර ගැනීමට උත්සාහ කලද එයට අවකාශයක් ලැබුනේ එක් නාලිකාවක විනාඩි 10 ක කාලයක් පමණක් බව සඳහන් වුනි.

මේ තත්ත්වය කොපමණ අභාග්‍ය සම්පන්නදැයි අප තේරුම් ගත යුතුය. ඕපාදූප සහ දේශපාලන කථිකාවන්වලට මුල්තැන දෙන වර්තමාන මාධ්‍ය කලාව මෙවැනි ජ්‍යෙෂ්ඨ කලාකාරිනියකට අතහිත නොදිම කණාටුදායකය. මේ තත්ත්වය සිනමාවටද අදාළය. අද වන විට සිනමා කර්මාන්තය මුහුණ දෙන අභියෝග සුළු පටු නොවේ.

විශේෂයෙන්ම විදේශ චිත්‍රපට හා ටෙලි නාට්‍ය සීමාවකින් තොරව හඩ කවා ප්‍රදර්ශනයට ඉඩදීමම දේශීය සිනමා කර්මාන්තය බිඳවැටීමට හේතු වන බව සඳහන් කළ යුතුය. සිනමා ප්‍රදර්ශනය සඳහා සිනමා ශාලා අඩු වීම, ගුණාත්මක චිත්‍රපට නිෂ්පාදනය සඳහා රාජ්‍ය අංශයේ අනුග්‍රහය අල්ප වීම හා සිනමාකරුවන් වෘත්තීය මට්ටමින් පුරුදු පුහුණු කිරිම සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම අද දක්නට ලැබෙන බරපතල අඩුපාඩුවකි. එම නිසා දේශීය සිනමාව, ටෙලි නාට්‍ය හා වේදිකාව රැක ගැනීමේ ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය අද දැනෙමින් පවතී.

 

 

 

t

o

p