මැති ඇමතිවරුන්ගේ විදේශ සංචාර

November 5, 2016

පසුගිය වර්ෂය තුළ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් කරන ලද විදේශ සංචාරවලට වැය කර ඇති මුදල් ප්‍රමාණය මිලියන 100 ඉක්මනවන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුනි. මිට අමතරව පසුගිය කාලය තුළ ජනාධිපතිවරයා විසින් කරන ලද විදේශ සංචාර හා ඒ සඳහා වැය වූ පිරිවැය ද මිට ඇතුළත් විය යුතුය.


මෙම විදේශ සංචාර සඳහා වැය කරන මුදල් ප්‍රතිඵලදායක ද යන්න පිළිබඳව ජනතාව අවධානයෙන් සිටින බව පැහැදිලිය. විවිධ මාධ්‍යයන් ඔස්සේ මැති ඇමතිවරුන්ගේ විදේශ සංචාර පිළිබඳව නොයෙක් වාර්තා පළවන අතර එම සංචාරවල ප්‍රතිඵල රටට වාර්තා කිරිමක් සිදු වන්නේ ද යන්න පැහැදිලි නොවේ.
ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පාලන කාලයේදි මැති ඇමතිවරුන්ගේ විදේශ සංචාර පිළිබඳව දැඩි පාලනයක් තිබු බව මට මතකය. එහිදි යම් ඇමතිවරයෙකු හෝ නියෝජ්‍ය ඇමතිවරයෙකු විදේශ ගත වන්නේ නම් නිල ආරාධනාව පිළිබඳව සලකා බැලිය යුතු අතරම එම සංචාරයෙන් රටට ප්‍රතිඵලදායක යමක් සිදුවන්නේද යන් සලකා බැලිය යුතුය.
එමෙන්ම සංචාරයෙන් පසු අදාළ සංචාර පිළිබඳව හා එහි ප්‍රගතියක් කැබිනට් මණ්ඩලයට වාර්තා කළ යුතුය. මෙවැනි පාලනයක් ඇති කළේ මැති ඇමතිවරුන්ගේ විදේශ සංචාර සඳහා වැය කරන මුදල් නාස්තිය වළක්වා ගැනිම සඳහාය.
මේ නිසාම සමහර මැතිඇමතිවරුන් ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව යම් යම් අමනාපකම් ද, ඇති කර ගත් බව මම දනිමි. ඒ කෙසේ වුවද ජාතික මුදල් පරිහරණයේදි යම් යම් සිමාවල් ඇති කිරිම මුදල් කළමනාකරණයේ වගකිමකි. එමෙන්ම සංචාරයන් පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරිමේ ක්‍රමවේදයක් සකස් කිරිමෙන් මහජන මුදල් පිළිබඳව පාර්ලිමේන්තුවට ඇති අයිතිය තව දුරටත් තහවුරු කර ගත හැක.
පසුගිය මාසයේ එක්සත් ජාතින්ගේ මහ සමුළුවට ජනාධිපතිවරයා ඇතුළු 70 ට ආසන්න නියෝජිත පිරිසක් නිව්යෝර්ක් බලා ගොස් තිබු බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙය පසුගිය කාලයේ ආණ්ඩුවලට හා නායකයන්ට යම් යම් විවේචන හා දෝෂාරෝපණ එල්ල වූ සිද්ධියකි.
අවාසනාවකට මෙන් නැවතත් රාජ්‍ය නායකයාගේ විදේශ සංචාරවලට විශාල නියෝජිත කන්ඩායම් එකතු කර ගැනිම යළිත් පරණ පුරුදු විදියටම සිදු වන බව පෙනේ. එපමණක් ද නොව පසුගිය සතියේ හෙළි වු කරුණු අනුව මැති ඇමතිවරුන් 25 ට වැඩි ප්‍රමාණයක් එකවර විදේශගතව ඇති බව වාර්තා විය.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වාර්තාවක් කැදවා ඇති බවත් විදේශ ගත වූ අයගෙන් නිදහසට කරුණු විමසා ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබුනි.
මේ සියලූ කරුනු සලකා බලන විට පැහැදිලි වන එක් දෙයක් නම් බොහෝ විදේශ සංචාරවල අරමුණ නිවාඩුවක් ගත කිරිමය. එහෙත් ප්‍රතිඵලදායක සාකච්ඡා සම්මන්ත්‍රණ නැත්තේම නොවේ. එසේ නම් මෙවැනි සංචාර පාලනය කිරිමට යම් විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිම අවශ්‍ය බව පෙන්වා දිය යුතුය.
අද වන විට අප රට යම් යම් ආර්ථික අරිබුදවලට මුහුණ දෙමින් සිටි. විශේෂයෙන්ම විදේශ විනිමය ප්‍රශ්න නැත්තේම නොවේ. එවන් අවස්ථාවක විදේශ විනිමය ප්‍රවේශමෙන් පරිහරණය කිරිම හා යොදවා ගැනිම අත්‍යාවශ්‍ය කරුණකි.
මෙහිදි සඳහන් කළයුතු විශේෂම කාරුණ වන්නේ විදේශ සංචාර හරහා අප කතිකා කර ගන්නා කරුණු ක්‍රියාවට නැංවිම හා පසු විපරම් කිරිමට ආයතනයක් හෝ ක්‍රියාපටිපාටියක් නොමැතිකමයි. සියලූ නිල ආරාධනා සමාලෝචනය කිරිමට හා ඒවායේ ප්‍රතිඵලය අපට කෙලෙස බලපානවාද යන්න පිළිබඳව අවාධානය යොමු කළ යුතුව ඇත.
එම නිසා වාර්ෂිකව කෙරෙන මෙවැනි විදේශ සංචාරවල අවසන් ප්‍රතිඵලය ක්‍රියාවට නැංවිමට අවශ්‍ය විධිවිධාන යෙදීම කැබිනට් මණ්ඩලයේද වගකීමකි. මේ දක්වා පෙනි යන කරුණුවලට අනුව නම් එවැනි වැඩපිලිවෙලක් කිසිසේත් නොමැති බව පැහැදිලිය. අප මේ වැය කරන්නේ මහජන මුදල් බව පළමුව තේරුම් ගත යුතුය.
එසේනම් අපගේ ජාතික වගකිම වන්නේ රටට යමක් ගෙන ඒමය. මේ සඳහා හොදම උදාහරණය සපයන රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියානු සෑම රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක්ම රටට ප්‍රතිඵලයක් ගෙන දෙන ව්‍යාපාරයකි.

තිස්ස අත්තනායක

t

o

p