වැට් බදු පනත වැඩි ඡන්ද 66 කින් සම්මතයි

October 30, 2016

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු පනත පාර්ලිමේන්තුවේදි ඊයේ (26) වැඩි ඡන්ද 66 කින් සම්මත විය.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම බද්ද 11% සිට 15% දක්වා වැඩි වනු ඇත. බදු වැඩිවිම මගින් මෙම වසරේ ආදායම රුපියල් කෝටි 180 කින් වැඩි කිරිමට අපේක්ෂා කරන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
වැට් බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අවසානයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පනතට ඡන්ද විමසිමක් අවශ්‍ය බවත් එය නාමිකව අවශ්‍ය බවත් ඉල්ලා සිටියේය. ඒ අනුව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මන්ත්‍රීවරුන් කැදවිමේ සිනුව නාද කළ අතර ඉන් පසුව පනතට අදාළව ඡන්දය විමසන ලදී.
වැට් පනත් කෙටුම්පතට පක්ව ඡන්ද 112 ක්ද විපක්ෂව ඡන්ද 46 ක්ද ලැබුණු අතර ඡන්ද විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 65 දෙනෙක් සභාවේ සිටියේ නැත.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු හා එක්ව ඡනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. දෙමළ ජාතික සන්ධානයේ හා ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රිවරු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.
ඡන්දය විමසන අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කලූ පටි පැලද සභාවට පැමිණ සිටිනු දක්නට ලැබුණි.
පනත් කෙටුම්පතට සංශෝධන ඉරිපත් කිරිමෙන් අනතුරුව තුන්වන සම්මත කිරිමට ද විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසිමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවැති ඡන්ද විමසිමේදී වැඩි ඡන්ද 53 කින් පනත සම්මත විය. පක්ෂව ඡන්ද 76 ක්ද විරුද්ධව ඡන්ද 23 ක්ද ලැබුනි.

t

o

p