මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු රාජ්‍ය ආයතන 7 ක් කොටස් වෙළෙද පොළ හරහා විකුණා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අනුව කොළඹ හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයට් රීජන්සීස් හෝටලය ඇතුළු රාජ්‍ය ආයතන විකුණා දැමීමට අපේක්ෂිතය.
ඒ අනුව මේ සඳහා අභිරුචි අයදුම්පත් කැඳවා ඇති බවද වාර්තාවේ. මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ ඇති ආයතන විකුණා දමා රාජ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමක්ය.
රාජ්‍ය අංශය ව්‍යාපාර නොකළ යුතුයැයි වත්මන් ආණ්ඩුවේ සමහර දේශපාලන නායකයින්ගේ මතය වී තිබේ. තවත් පැත්තකින් මතුකරන තර්කය වන්නේ අලාභ ලබන රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට බරක් වූ විට ඒවා නඩත්තු කරන්නේ ජනතාවගේ බදු මුදලින් හෙයින් එය රටට බරක් වන නිසා පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්වයට මේවා පවරා වඩාත් හොදින් කාර්යක්ෂමතාවය ඇති කළ හැකි බවය.
ලෝකයේ බොහෝ දියුණු රටවල් තම සංවර්ධනයේදී පෞද්ගලික අංශයේ සහාය ලබා ගනී. සියල්ලම රාජ්‍යය පාලනය කළ යුතු යැයි අතීතයේ තිබුණු මතය අද වන විට වෙනස් වී ඇත. සමාජවාදී හා කොමියුනිස්ට් මතයන් දැරූ රටවල් හා ජනතාව පවා සියලූ ව්‍යවසායකත්ව රාජ්‍ය අංශයේ තිබිය යුතු යැයි දැන් කල්පනා කරන්නේ නැත.
රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසායකත්ව ව්‍යාපාර ලෝකයේ බොහෝමයක් තිබේ. කෙසේ වුවද මෙහිදී මතු වන ප්‍රධානතම තර්කය වන්නේ රාජ්‍ය ආයතන විකුණා දැමීමෙන් එල්ල වන අභියෝගයයි.
ඛනිජ තෙල්, විදුලිය, ජලය, මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි අංශ රජයේ පාලනයේ තබා ගන්නේ ඒවා ජනතාවට සෘජු ලෙසම බලපාන නිසාය. දැනටමත් ඛනිජ තෙල් බෙදා හැරීමේ කොටසක් ඉන්දියානු සමාගමකට පවරා තිබේ.
ඉහත කී අංශ රාජ්‍ය අංශයෙන් වෙන් කිරිම රටකට සුවදායක නොවේ. ඒ නිසා හැම විටම ලෝකයේ දියුණුතම් රටවල් වුවද ඉහත ක්ෂේත්‍රයන් පාලනය ආණ්ඩුව විසින් සිදු කරනු ලබයි. රාජ්‍යය ව්‍යාපාරවල නොයෙදෙන්නේ යැයි ප්‍රතිපත්තියක සිටීම සුදුසු නොවේ.
ආණ්ඩුව හා පෞද්ගලික ව්‍යවසායකයන් අතර සම්බන්ධතාවයක් ඇතිකර ව්‍යාපාර ගොඩනැගීම සුදුසුය. අපට තිබෙන රාජ්‍ය සම්පත් සියල්ල විකිණිමට ප්‍රථම ඒවා ජනතාවට කොපමණ සමීපද යන්න සලකා බැලිය යුතුය. එසේ නොමැතිව එම ආයතන විකුණා අය වැය පරතරය පියවා ගැනීමට උත්සාහ කරන්නේ නම් එය රටකට හොද මදිය.
තිස්ස අත්තනායක
Leave a comment