පළමු ටෙස්ට් තරඟයේ ජය ලංකාවට

July 30, 2016

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරඟය ලකුණු 106කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ‍ටික වේලාවකට පෙර සමත් විය.

මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 117ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 203ක් ලබාගත්තේය.

නැවත පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 353ක් ලබාගත් අතර එහිදී කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 176 කැපී පෙනුණි.

ඒ අනූව ලකුණු 268ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවන් ලකුණු 161ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර එහිදී රංගන හේතරන් ලකුණු 54ට කඩුළු 5ක් දවා ගන්නා ලදී.

රංගන හේරත් පළමු ඉනිමේදී කඩුළු 4ක් දවා ගත් අතර එම ඉනිමේදී කඩුළු 4ක් දවා ගත් ලක්ෂාන් සඳකැන් දෙවන ඉනිමේදීත් රංගනට අනගි සහයක් ලබාදෙමින් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනූව ඉනිම් දෙක පුරාවට මෙම දෙනා ඔස්ට්‍රේලියානු පිලේ කඩුළු 16ක් දවා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

තවද මෙම තරඟයට විටින් විට වර්ෂාවෙන් හා අයහපත් ආලෝක තත්ත්වයෙන් බාධා සිදුවීම හේතුවෙන් තරඟ කාලයේ ප්‍රමාදයක් සිදුවුවද තරඟයේ අවසන් දිනය වන අද එය දෙපාර්ශවය දෙසටම දෝලනය වන බවක්ද දක්නට ලැබිණ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතාවය නිසා වර්ෂාවට තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පමා කිරීමට නොහැකි විය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් දෙවන ටෙස්ට් ජයග්‍රහණය ලෙස ද මෙය වාර්තා පොත් අතරට එක්වෙයි.

එංගලන්ත‍ සංචාරයේදී ශ්‍රී ලංකාව ලද අමිහිරි පරාජයෙන් පසු ශ්‍රී ලංකාවට නැවතත් දක්ෂතා අතරට පැමිණීමට මෙය සුවිශේෂි අවස්ථාවක් ඒ අනූව නිර්මාණය කර ඇත.

විශේෂයෙන් කණ්ඩායමට අලුතින් එක්කළ නවක ක්‍රීඩකයින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීම මෙම තරඟය පුරාවට දක්නට ලැබීම ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් ක්ෂේත්‍රයට ද යහපත් වාතාවරණයක් බව කිව  හැකිය.

ඔස්ට්‍රේලියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ සිට ඔවුන් පරාජය කිරීමට සමත්වීම තවත් සුවිශේෂි කරුණකි.

එසේම ස්ටිවන් ස්මිත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස ලද පළමු ටෙස්ට් පරාජය මෙය බවද සඳහන් වේ.

තරඟයේ වීරයා සම්මානය ‍කුසල් මෙන්ඩිස්ට හිමිවිය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p