ඉන්දීය – ශ්‍රී ලංකා සහයෝගිතා ගිවිසුම දෙරට අතර සහයෝගය ප්‍රවර්ධනය කරයි

July 25, 2016

ශ්‍රී ලංකා සහ ඉන්දියා රටවල් දෙකෙහිම රාජ්‍ය නායකයින් විසින්, දෙරට අතර සහයෝගිතාවය වැඩි දියුණු කිරීම සඳහා යෝජිත ‘ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම’ දෙපාර්ශ්වය සමඟ විධිමත් ලෙස සාකච්ඡා කොට, හැකි ඉක්මනින් අවසන් කිරීම උදෙසා උපරිම කැපවීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කොට ඇත.

ඒ අනුව, මෙම අරමුණ සපුරා ගනු පිණිස, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය විසින් පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත.

“අන්තර්ජාතික වෙළෙඳාම සඳහා ව‍ූ ආයතනය” – Agency for International Trade ඇති කිරීම: අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම කෙට‍ුම්පත් කිරීම වඩාත් ක්‍රමානුකූලව සිදු කිරීම සඳහා ඒ පිළිබඳව විශේෂඥතාව සහිත පුද්ගලයින්ගෙන් සහ ජාත්‍යන්තර වෙළෙඳාමට සම්බන්ධිත රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වූ විශේෂිත නියෝජිතායතනයක් වශයෙන් මෙම ආයතනය පිහිටුවා ඇත.

එම ආයතනය පහත සඳහන් නිලධාරීන්ගෙන් සමන්විත වේ.

සභාපති – ආචාර්ය ‍සමන් කැලේගම මහතා, අධ්‍යක්ෂ ජනරාල් වාණිජ දෙපාර්තමේන්තුව, අධ්‍යක්ෂ ජනරාල් (ආර්ථික කටයුතු) විදේශ කටයුතු අමාත්‍යාංශය, ආචාර්ය අරිත්ත වික්‍රමනායක මහතා, ජ්‍යෙෂ්ඨ නීතිඥ, ආචාර්ය නිහාල් සමරප්පුලි මහතා – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ, අශ්රොෆ් ඔමාර් මහතා, ප්‍රධාන විධායක නිලධාරි, බ්‍රන්ඩික්ස් ආයතනය, සභාපතිනිය, අපනයන සංවර්ධන මණ්ඩලය, අධ්‍යක්ෂ, වෙළෙඳ ආයෝජන දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ආනයන හා අපනයන පාලක ජනරාල්, ආචාර්ය රවි රත්නායක මහතා, හිටපු ප්‍රධාන අර්ථ ශාස්ත්‍රඥ, UNESCAP ආයතනය – උපදේශක සහ ආරාධිත, කේ.ජේ. වීරසිංහ මහතා, හිටපු අධ්‍යක්ෂ ජනරාල්, වාණිජ දෙපාර්තමේන්තුව.

අන්තර්ජාතික වෙළෙඳ ආයතනය දැනට සතිපතා රැස්වී, අන්තර්ජාතික ගිවිසුම සහ අන්තර්ජාතික වෙළෙඳාම සම්බන්ධ ප්‍රතිපත්තිමය කරුණු මෙන් ම ඒ ආශ්‍රිත ගැටලු පිළිබඳව සාකච්ඡා කොට තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායන් හඳුනා ගැනීමේ ක්‍රියාවලියක නිරත වී සිටී.

ඒ අතරම අන්තර්ජාතික වෙළෙඳ ආයතනය, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය හා එක්ව පිළිගත් වාණිජ මණ්ඩල සහ විවිධ වෘත්තිකයින් නියෝජනය කරන සංගම් සමඟ අන්තර්ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සම්බන්ධව උපදේශන ක්‍රියාවලියක ද සක්‍රීය ලෙස නිරතව සිටී.

ලංකා වාණිජ මණ්ඩලය, ‍ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා අන්තර් ජාතික වාණිජ මණ්ඩලය, ජාතික අපනයන කරුවන්ගේ මණ්ඩලය, තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය, ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය, ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය යන ආයතන සමඟ දීර්ඝ ලෙස මෙන් ම අඛණ්ඩව සාකච්ඡා පැවැත්වේ.

මීට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (General Medical Officers Association – GMOA) සමඟ ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඔවුනට ද කරුණු පැහැදිලි කර දී ඔවුන්ගේ අදහස් ද ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා ඇත.

මේ වනවිට ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම මඟින් ආවරණය වන විෂයපථය සකස් කොට අදාළ ඉන්දියානු පාර්ශ්වය වෙත යොමු කර ඔවුන්ගේ මූලික එකඟතාව ලබාගෙන ඇත.

එක් එක් ක්ෂේත්‍ර අරභයා විශේෂඥතාවයක් සහිත පුද්ගලයින්ගෙන් සමන්විත භාණ්ඩ වෙළෙඳාම පිළිබඳ කමිටුව, සේවා වෙළෙඳාම පිළිබඳ කමිටුව, ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතාවය පිළිබඳ කමිටුව, නෛතික කටයුතු පිළිබඳ කමිටුව, ආයෝජන පිළිබඳ කමිටුව, සනීපාරක්ෂාව සහ ශාක සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රමිතීන් සහ වෙළෙඳාම සඳහා වන තාක්ෂණික බාධක පිළිබඳ අනු කමිටුව, වෙළෙඳ ප්‍රතිකර්ම පිළිබඳ අනු කමිටුව, රේගු ක්‍රමවේද සහ වෙළෙඳාම පහසුකරණය පිළිබඳ අනු කමිටුව නම් අනු කමිටු ද පිහිටුවා ඇත.

එලෙසම අදාළ ගිවිසුම් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කර පොදු එකඟතාවකට ලක් කිරීම සඳහා සාකච්ඡා සම්මුති කමිටුවක් (Negotiating Committee)ද පත් කර ඇත.

ආචාර්ය සමන් කැලේගම මහතා, අධ්‍යක්ෂ ජනරාල් වාණිජ දෙපාර්තමේන්තුව, මංගල පී.බී. යාපා මහතා, කේ.ජේ. වීරසිංහ මහතා, ආචාර්ය අරිත්ත වික්‍රමනායක මහතා, අධ්‍යක්ෂ, වෙළෙඳ ආයෝජන දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, අති‍රේක අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, වාණිජ මණ්ඩල සහ වෘත්තිකයින් අතරින් තෝරා ගත් නියෝජිතයෙක් ඒ කමිටුවට ඇතුළත් වෙති.

කෙටුම්පත් කරන ලද ලියවිලි පදනම් කරගත් සාකච්ඡා ඉන්දියානු නිලධාරීන් සමඟ ඉක්මනින් ආරම්භ කෙරෙනු ඇත. විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස් සහ යෝජනා සුදුසු පරිදි, කෙටුම්පත් කරන ලද ගිවිසුම් අන්තර්ගතයට එකතු කරනු ඇත.

මෙම සමස්ත ක්‍රියාවලිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂ දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අදහස් ද මේ ගිවිසුමට ඇතුළත් කර ගැනීම සඳහා මීට සමගාමීව පාර්ලිමේන්තු ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීම සඳහා ද කටයුතු යොදා ඇත.

ඉහත ක්‍රමවේදයන් උපයෝගි කර ගනිමින් අප රටේ අවශ්‍යතාවන් ආරක්ෂා වන පරිදි මෙන් ම දෙරට අතර ආර්ථික සහයෝගිතාවය ප්‍රවර්ධනය වන පරිදි, අපට ගැළපෙන ගිවිසුමක් නිර්මාණය කර ගැනීම සඳහා සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය අනලස්ව සහ ඉමහත් කැපවීමෙන් යුතුව ක්‍රියා කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p