ලොකුම කෘෂි ව්‍යාපෘතිය

July 25, 2016

රජරට නැ‍ඟෙනහිර හා මාතලේ දිස්ත්‍රික්කවල ජල හිඟයට කදිම විසඳුමක් දෙන නව ව්‍යාපෘතියක් දැන් වත්මන් රජය ක්‍රියාවට නංවා ඇත.

මාතලේ අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික අවශ්‍යතාවලට වාරි ජලය හා පානීය ජලය ලබාදෙන මේ නව ව්‍යාපෘතිය මොරගහකන්ද – කළුගඟ බහු කාර්ය සංවර්ධන ව්‍යාප‍ෘතියයි.

රටටම සම්පත් කන්දක් ගෙනෙන මොරගහකන්ද ව්‍යාපෘතිය දැන් මධ්‍යම පළාතේ මාතලේ ඇලහැර හා ලග්ගල ප්‍රදේශවල වේගවත් ලෙස ක්‍රියාවට නැංවෙමින් තිබේ.

මහවැලි මහ සැලැස්ම යටතේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට මූලික සැලසුම් තිබුණත් එය ඉදිනොවී තිස් වසරක් තිස්සේ සිහිනයක් ලෙස පමණක්ම පැවතිණි. පසුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඍජු මැදිහත්වීම උනන්දුව මත අද ඒ සිහිනය යථාර්ථයක් බවට පත්වී තිබේ.

මෙරට ආර්ථික විශේෂඥයන් පවසන පරිදි මෙරට ක්‍රියාවට නංවන විශාලතම කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය ලෙසත් මෙරට දැනට ක්‍රියාත්මක විශාලතම බහු කාර්ය ව්‍යාපෘතිය ලෙසත් මෙය හැඳින්වීමට පුළුවන.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන ඇමැතිවරයා ලෙස 2007 දී මෙය ඇරැඹූ නමුත් එය පසු කාලයේදී මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූයේ ඉතා සෙමින් ය.

මේ ව්‍යාප‍ෘතිය යළි වේගවත් කිරීම් මූල්‍ය ප්‍රතිපාදන සමඟ රජයේ පූර්ණ අවධානය යොමු වූයේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි මාසයේ රටේ ජනාධිපතිවරයා වීමෙන් අනතුරුව ය. ඒ අනුව එතුමා පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න හා ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් යන මහත්වරුනට උපදෙස් හා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්නා අයුරු පෙන්වා දෙමින් ව්‍යාපෘතියේ ඉදිරි ගමන වේගවත් කිරීමට ක්‍රියා කළේ ය. මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම හා ව්‍යාපෘතියේ විවිධ ඉදිකිරීම් මාර්ග පද්ධතිය විවෘත කිරීම පසුගිය දෙසැම්බර් මාසයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතින් සිදුවිය. කළුගඟ ව්‍යාපෘතිය මහ වේල්ල මත නිදන් වස්තු තැන්පත් කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (25 වැනිදා) සිදු කිරීමට ද නියමිත ය.

මේ අනුව බලන විට ඉපැරැණි මානව ශිෂ්ටාචාරයකට පදනම සැලසූ නකල්ස් මිටියාවතේ අඹන් ගඟ – කළුගඟ ද්‍රෝණියේ සැඟව ඇති අපමණක් පුරාවෘත්තිය සමඟින් නව මානව ශිෂ්ටාචාරයක අපූරු උපතක් දැන් සිදුවෙමින් පවතී.

එම උපත සමඟ ජන්ම ලාභය ලබන්නේ නව සංවර්ධන ශිෂ්ටාචාරයක නවෝත්පාදන ආර්ථික‍යකි. එය අනාගතය විසින් හඳුන්වනු ඇත්තේ ‘මොරගහකන්ද කළුගඟ යෝධ සංවර්ධන ව්‍යාපාරය පරපුරක් දුටු ආශ්චර්යයේ සිහිනය’ ලෙසය. කෙනෙකු දුටු සෑම සිහිනයක්ම සැබෑ නොවේ. නමුත් අධිෂ්ඨානශීලී මිනිස්සු නමින් දුටු සිහින සැබෑ කරන්නට ප්‍රබල උත්සාහය යෙදෙති. මේ අනුව මේ මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය මඟින් කරන මේ රටේ සංවර්ධන කාර්යයේ ප්‍රධාන නියමුවා හා මෙහෙයුම්කරුවා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය.

වස්සාන කාලයෙහිදී අඹන්ගඟ ඔස්සේ මහ මුහුද වෙත ගලා යන මහා ජලස්කන්ධය මොරගහකන්ද ජලාශයේත්, කළුගඟ ඔස්සේ ගලා එන ජල කඳ කළුගඟ ජලාශයේත් රැස් කොට රජරට ජනතාව කාලාන්තරයක් තිස්සේ මුහුණදුන් ජල හිඟය දුරලීම මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වෙයි.

මොරගහකන්ද කළුගඟ ජලාශයන්ට එක්වන ජල කදින් අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කයන්හි කෙත් බිම් හෙක්ටයාර් 87.499 ක් දෙකන්නයේ වගා කිරීමට අවශ්‍ය ජල පහසුකම් නොඅඩුව සැපයීමට හැකිවනු ඇත. මේ ජලය ගෙන යාම පිණිස ඉහළ ඇලහැර ඇළ ඉදිකරනු ලැබේ.

මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව, නාච්චදූව, නුවර වැව, හුරුළු වැව, පදවිය, වාහල්කඩ, මහකනදරාව හා මානන්කට්ටිය යන වැව් ද පොලොන්නරු දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ හා කවුඩුල්ල යන වැව් ද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ හා වෙන්ඩරාසකුලම් යන වැව් ද මාතලේ දිස්ත්‍රික්කයේ කන්දලම හා දඹුළුඔය යන වැව් ද මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අමතර ජල පහසුකම් ලබනු ඇත.

මීට අමතරව මහවැලි – මොරගහකන්ද කලාපයට (ඇලහැර යෝධ ඇ‍ෙළන් පෝෂණය වන ඇලහැර බකමූණ ප්‍රදේශය) හුරුළු පෝෂිත ඇළ මඟින් පෝෂණය වන ප්‍රදේශයට හා කළුගඟ නිම්නයේ අලුතෙන් සංවර්ධනය කැරෙන ප්‍රදේශයට මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියෙන් සෙත සැලසේ.

අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කයන්හි ගෘහස්ත පාරිභෝජනය හා කර්මාන්ත සඳහා වන ජල අවශ්‍යතා සපුරාලීම ද මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අතිශය වැදගත් අරමුණක් වෙයි. මෙම දිස්ත්‍රික්ක හතරෙහි දැනට එක් දිනයක ගෘහීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා සපයන ඝන මීටර් 78,816 ක් වූ ජල ප්‍රමාණය මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා දිනකට ඝන මීටර් 253310 දක්වා වර්ධනය කරලීමට හැකිවනු ඇත.

මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය වාරි සංකීර්ණයකි. එබැවින් ම එය එකිනෙක හා බැඳුන ඉදිකිරීම් මහත් ගණනාවකින් සමන්විත වේ. බෝවතැන්න ජලාශයේ සිට මහවැලි ජලකඳ රජරටට යොමු කෙරෙන බෝවතැන්න ලෙනදොර උමඟ හා සමාන්තරව තවත් උමගයක් කැණ, බෝවතැන්නෙන් රජරටට හැරවෙන ජලකඳ ප්‍රවර්ධනය කිරීම ද මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අංගයක් වෙයි. මෙම සමාන්තර උමගය දිගින් කිලෝමීටර් 7.2 ක් වෙයි.

මේ ව්‍යාපෘතිය යටතේ ඉදිවන විශාලතම ජලාශය මොරගහකන්ද ජලාශයයි. මාතලේ හා පොළොන්නරුව මායිමේ ඇලහැර ප්‍රදේශයේ ඉදිවන මේ ජලාශය මෙරට විශාලත්වයෙන් හතරවැනි තැන ගන්නා ජලාශය වේ. මෙරට ජලාශ අතර ප්‍රථම තැන ගන්නේ අම්පාර සේනානායක සමුද්‍රයයි. දෙවැන්න රන්දෙනිගල වන අතර තෙවැන්න වික්ටෝරියා වේ. කෙසේ වෙතත් මොරගහකන්ද ජලාශය මෙරට වසර 30 කට පසු ඉදිවන විශාලතම ජලාශය යි. එය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාලය. අක්කර අඩි 463000 ක් විශාල මේ ජලාශය මොරගහකන්දේ සිට නාවුල දක්වා වර්ග කිලෝමීටර් 30 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී යයි.

මොරගහකන්ද ජලාශය නිර්මාණය කෙරෙන්නේ ඇලහැර පෞරාණික අමුණට කිලෝමීටර් 2 ක් පමණ ඉස්මත්තේදී අඹන් ගඟ හරහා වේල්ලක් බැඳීමෙනි. එය මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ල වන අතර ඒ හා සමඟ තවත් උපවේලි (සැදලි වේලි) දෙකක් ඉදිකෙරෙන්නේ ජලාශයේ එක්වන ජලය කඳු විවර අතරින් ගලා යෑම වැළැක්වීමට ය. ප්‍රධාන වේල්ලේ ඉදිකිරීම්වලින් සියයට 50 ක් පමණ අවසන් වී ඇත.

අඹන් ගඟ හරහා ඉදිකෙරෙන ප්‍රධාන වේල්ල මුළුමනින් ම කොන්ක්‍රීට් වලින් ඉදිකෙරෙනු ඇත. උසින් මීටර් 61.3 ක් වන මෙම වේල්ලේ දිග මීටර් 420 කි. මුදුනත පළල මීටර් 08 කි.

ගල් පිරවීමෙන් තැනෙන අංක 1 සැදලි වේල්ල උසින් මීටර් 58 ක් වන අතර දිගින් මීටර් 370 කි. මුදුනත පළල මීටර් 08 කි. මෙහි ඉදිකිරීම් 80% ක් අවසන් ය.

අංක 2 සැදෑල වේල්ලේ උස මීටර් 21 කි. මීටර් 374ක දිගින් යුත් මෙම වේල්ලේ මුහුණත පළල මීටර් 7 කි. පස් පිරවීමෙන් තැනෙන මෙම වේල්ලේ ඉදිකිරීම් කටයුතු දැන් අවසන් වී ඇත.

මොරගහකන්ද ප්‍රධාන වේල්ල අඹන් ගඟ හරස් කිරීමට පමණක් යොදා ගන්නා අතර මෙහිදී ඉදිවන අංක 1 සදැලි වේල්ල ආශ්‍රිතව ව්‍යාපෘතියේ වැදගත් නිර්මිත රැසක් ඉදිවෙන බව ද ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ විජයරත්න මහතා පවසයි.

ඒ අනුව මෙගා වොට් 25 ක ජල විදුලි බලාගාර‍ය ඊට ජලය ලබාදෙන ප්‍රධාන නළ මාර්ග හතර, පිටවාන මඩ සොරොව්ව ආදිය ද මේ සදෑලි වේල්ල ආශ්‍රිතව දැන් ඉදි කරමින් සිටිති. ඊට අමතරව ජල විදුලි බලාගාරයෙන් පිටවන ජලයෙන් කොටසක් ඉහළ ඇළහැර නව ඇළට යොමු කරනු ලබන්නේ ද මොරගහකන්ද සදැලි වේලි අංක 1 මඟිනි. ඊට අමතරව අඹන් ග‍ඟේ පහළ ප්‍රයෝජනය ද ජලය යැවීම මෙම වේල්ල මඟින් සිදු කෙරේ. මේ පිටවානේ අරීය ගේට්ටු 5 ක් ඉදිකරන අතර ඉන් තත්පරයකට ජලය ඝන අඩි 4085 ක් උපරිම පිටකිරීමට හැකියාව ඇත.

මේ සියලු කටයුතුවලින් සියයට 80 ක් පමණ අවසන් වී ඇති අයුරු අප කළ නිරීක්ෂණ චාරිකාවකදී පැහැදිලි විය.

ඊට අමතරව සැදෑලි වේල්ලේ විදුලි බලාගාරයෙන් පිටවන ජලය පිටවන ඉහළ ඇළහැර නව ඇළ කිලෝමීටර් 35 ක් දුරට අනුරාධපුරය දක්වා මේ ව්‍යාපෘතිය මඟින් අලුතින් ඉදිකරනු ලැබේ. රජරට වැට් පෝෂණය කිරීමට නව දියවර ලැබෙන්නේ මේ අලුත් ඇළ මාර්ගය මඟිනි.‍

මෙම ව්‍යාපෘතියේ අනෙක් ප්‍රධාන කාර්යය කළුගඟ වේල්ල හා ජලාශය ඉදිකිරීමයි. මේ කළුගඟ වනාහි අඹන් ගඟ පෝෂණය කරන අතු ගංගාවකි. එය ගලා එන්නේ නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ සිට ය. කළුගඟ ලග්ගල ප්‍රදේශයේදී මීටර් 67 ක් උස වේල්ලක් මඟින් හරස්කර නව ජලාශයක් යැදීම මෙහිදී කරනු ලැබේ. පරාක්‍රම සමුද්‍රය මෙන් දේශගුණයක් විශාල මේ ජලාශයේ ඉදිකිරීම්වලින් දැන් සියයට 35 ක් අවසන් වී තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ තෙන්නකෝන් මහතා පවසයි.

දුම්බර (නකල්ස්) කඳුවැටියෙන් ඇරඹී අඹන් ගඟට වැටෙන කළුගඟ හරහා වත්මන් පල්ලේගම නගරයට කිලෝ මීටර් 10ක් පමණ උතුරු දෙසින් ප්‍රධාන වේල්ල ද නැ‍ඟෙනහිර දෙසින් සැදෑලි වේල්ලක් ද ඉදිකිරීමෙන් කළුගඟ ජලාශය නිර්මාණය වෙයි.

කළුගඟ ජලාශයෙන් ප්‍රධාන වේල්ල ගල් පිරවීමෙන් නිර්මාණය වනු ඇත. එය උසින් මීටර් 67 ක් වන අතර දිගින් මීටර් 568කි. මුදුනත පළල මීටර් 08 කි. සැදෑල වේල්ල ගල් පිරවීමෙන් නිර්මාණය කෙරෙනු ඇත. එය දිගින් මීටර් 719 කි. උසින් මීටර් 28 කි. මුදුනත පළල මීටර් 08 කි.

කළුගඟ ජලාශයේ පිටවාන පළලින් මීටර් 8.5 ක් ද උසින් මීටර් 7.8 ක් ද වන අරිය දොරටු 3 කින් සමන්විත වෙයි.‍

කළුගඟ හරහා ඉදිකැරෙන ප්‍රධාන වේල්ලෙන් හා ‍උපවේල්ලෙන් නිර්මාණය වන කළුගඟ ජලාශයේ පූර්ණ ධාරිතාවය ඝන මීටර් දසලක්ෂ දෙසිය හැට හයකි. අක්කර අඩි 216000 කි.

කළුගඟ ජලාශය ඉදිකැරෙන්නේ ප්‍රධාන වශයෙන් මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙනි. ඒ හැරුණුවට මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නැවත පදිංචි කිරීමේ වැඩසටහන සඳහා කළුගඟ දකුණු ඉවුර හා වම් ඉවුර ද සංවර්ධනය කෙරේ. මෙසේ සංවර්ධනය කෙරෙන හෙක්ටයාර් 7800 ක ප්‍රදේශයට අවශ්‍ය ජලය සැපයෙන්නේ ද කළුගඟ ජලාශයෙනි.

කළුගඟ ජලාශයේ ජලය මොරගහකන්ද ජලාශය වෙත ගෙන යනු ලබන්නේ කළුගඟ ජලාශයේ සිට තැනෙන දිගින් කිලෝමීටර් 9 ක් වූ ඇළ මාර්ගයකින් හා දිගින් කිලෝ මීටර් 3 ක් ව‍ූ උමං මාර්ගයකින් කඹරාව ඔයට යොමු කිරීමෙනි.

නැවත පදිංචි කෙරෙන ප්‍රදේශ මහවැලි ‘එෆ්’ කලාපය ලෙසින් නම් කොට අන් මහවැලි ජනාවාසයන් මෙන් ම සියලු පහසුකම් සහිතව ඉක්මනින් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත.‍

කළුගඟ ජලාශයට යටවීමට නියමිත පල්ලේගම නගරය වෙනුවට ලග්ගල නව නගරය ඉදිකිරීමේ කටයුතු දැනට අවසන් කර තිබේ. නව නගරයේ රෝහල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය, විද්‍යාලයය ආදී පොදු සේවාවන් සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම් දැනටමත් අරඹා තිබේ. ඒ සඳහා වියදම මිලියන 100 කි.

මීට අමතරව වැල්ලේවෙල හා ගුරුවෙල යන කොට්ඨාස මධ්‍යස්ථානයන් හා තෝරපිටිය හා මා ඔය යන ග්‍රාමීය මධ්‍යස්ථානයන් සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ද මේ වනවිටත් ඉදිකොට නිම කිරීමට ආසන්නව පවතී.

මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන තවත් අතිශය වැදගත් කාර්ය භාරයක් වන්නේ මැදිරිගිරිය (කවුඩුල්ල වම් ඉවුර) සංවර්ධනයයි.

මැදිරිගිරියට සෞභාග්‍යයෙන් පිරිපුන් යුගයක් උදාකරන මේ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 1200 ක් වැයවෙතැයි අපේක්ෂිත ය.

දස වසරක් තුළ නිම කිරීමට සැලසුම්කොට ඇති මැදිරිගිරිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් දොළොස් දහසක් පදිංචි කිරීමට නියමිත ය.

මැදිරිගිරිය ජනාවාසකරණ වැඩසටහන යටතේ නැවත පදිංචි කැරෙන ගොවි පවුලක් සඳහා වාරිමාර්ග පහසුකම් සහිත කුඹුරු අක්කර එකහමාරක් හා ගෙවත්ත සඳහා අක්කර බාගයක් ද ලබාදෙනු ලැබේ. මෙම නව ජනාවාසයන්ට මාර්ග, අධ්‍යාපන, පානීය ජලය, සෞඛ්‍ය, රජයේ කාර්යාල, විදුලි දුරකථන ආදී සෑම පොදු පහසුකමක්ම සැපයීමට ද කටයුතු යොදා තිබේ.

මැදිරිගිරියේ නව ගොවි බිම සඳහා අවශ්‍ය වාරිමාර්ග ජල සම්පාදනයට වැව් 32 ක් ඉදිකෙරේ. මැදිරිගිරි සංවර්ධනයේ අතිශය වැදගත් අංගයක් වන්නේ බිසෝපුර නව නගරයයි. බිසෝපුර නව නගරයේ ඉදිකිරීම් දැන් වේගවත් කර ඇත.

බිසෝපුර නගරයේ විශේෂත්වයක් වන්නේ නගරයකට අවශ්‍ය සෑම අංගෝපාංගයකින් ම සමන්විතව ඉදිකිරීම ය.

මැදිරිගිරිය – ත්‍රිකුණාමලය යෝජිත නව අධිවේගී මාර්ගය ද බිසෝපුර ඔස්සේ ඉදිකෙරේ. ඉන් ත්‍රිමලයට පොළොන්නරුවේ සිට දුර කිලෝ මීටර් 84 කින් අඩ‍ුවේ.

මොරගහකන්ද හා කළුගඟ ජලාශයන්ට යටවීමට නියමිත මාර්ග වෙනුවෙන් නව මාර්ග පද්ධතියක් ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් ආරම්භ කරන ලද අතර දැන් නිමවෙමින් පවතී. මීට අමතරව නව සංවර්ධන ප්‍රදේශයන්හි මාර්ග ඉදිකිරීමේ කටයුතු ද ක්‍රියාත්මක කර තිබේ.

නාවුල – ඇලහැර මාර්ගයේ මොරගහකන්ද ජලාශයෙන් යටවීමට නියමිත මාර්ග කොටස වෙනුවෙන් ඉදිකැරෙන කූඹියන්ගඟ ඇල – මොරගහකන්ද මාර්ගය, මෙම මාර්ග සංවර්ධන කටයුතු අතර වැදගත් ස්ථානයක් ගනී. රුපියල් මිලියන 72 ක වියදමින් කිලෝමීටර් 13.5 ක් දිගට ඉදිවන මේ නවීන මාර්ගයේ ඉදිකිරීම් මේ වනවිටත් අවසන් ය. මොරගහකන්දේ දී අඹන්ගඟ හරහා ඉදිකැරෙන යෝධ පාලම ඇතුළු පාලම් 06 ක් ද කුඩා පාලම් 30 ක් ද මේ මාර්ග ව්‍යාපෘතියට අයත්ය.

පල්ලේගම – හෙට්ටිපොළ මාර්ගයේ කළුගඟ ජලාශයෙන් යටවන කොටස වෙනුවට වැල්ලේවෙල සිට ගුරුවෙල දක්වා නව මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ද දැනටමත් අවසන් කර තිබේ. දිගින් කිලෝමීටර් 10 ක් පමණ වන මෙම මාර්ග ව්‍යාපෘතිය යටතේ විශාල පාලම් 4 ක් හා කුඩා පාලම් 40 ක් ද ඉදිකිරීමට නියමිත ය.

මොරගහකන්ද – කළුගඟ සම්පූර්ණ ව්‍යාපෘතියෙන් ඉහළ ඇලහැර ඇළ සංවර්ධනයටත් වැයකරන මුළු මුදල රුපියල් කෝටි 15000 ක් පමණ වනු ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. ඒ අනුව මෙරට දැනට ක්‍රියාත්මක විශාලතම කෘෂිකාර්මික හා බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ද මෙය වේ.

මෙය රටේ ලක්ෂ 12 කට අධික පිරිසකට ඍජු ප්‍රතිලාභත් පොදුවේ මුළු රටේ ම ජනතාවට වක්‍ර ප්‍රතිලාභත් ලබාදෙන මහා ව්‍යාපෘතියකි.‍ මෙරට ක්‍රියාත්මක බහු කාර්ය යෝජනා ක්‍රමවලින් මෙය දෙවැනි වන්නේ මහවැලි ව්‍යාපාරයට පමණි. ඒ අනුව මෙය ඉදිකිරීම මෙන් ම සුරැකීම යන කාර්යයනට අත හිත දීම රටවැසි සැමගේ යුතුකමකි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p