ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරාලීමට ඉදිරියටත් සහය දෙනවා – ලෝක බැංකුව

July 24, 2016

ශ්‍රී ලංකාවට තවදුරටත් පූර්ණ සහය දැක්වීමට සූදානම් බව ලෝක බැංකුව අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහවු (Idah PswarayiRiddihough) මහත්මිය පසුගිය බදාදා (20) පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමු වී මේ බව සඳහන් කළා ය. එම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහි දී රිඩ්ඩිහවු මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාව සාර්ථකව ආර්ථික අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින බවයි.අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමුවේ දී කියා සිටියේ ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් තබා ඇති විශ්වාසනීයභාවය ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට ඉමහත් ශක්තියක් බවයි.

1995 දී ලෝක බැංකු කණ්ඩායමට එක් වූ ඇය සිම්බාබ්වේ ජාතික කාන්තාවකි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන්, වන විද්‍යාව සහ ජාන විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇති ඇය කලක් ලෝක බැංකුවේ ආසියානු කලාපීය මෙහෙයුම් අධ්‍යක්ෂවරියක ලෙස ද කටයුතු කළා ය.

රිඩ්ඩිහවු මහත්මිය අගෝස්තු මස සිට සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත ය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ වත්මන් ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන ෆ්‍රැන්ක්කොයිස් ක්ලොට්ස් මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ද එක්ව සිටියහ.

මේ අතර, ශ්‍රී ලංකාවේ ක්‍රමෝපාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව තවත් අමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය ආධාරයක් අද ප්‍රදානය කරනු ලැබීය. මීට අදාළ ගිවිසුම් අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එස්.එච් සමරතුංග හා ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆ්‍රැන්ක්කොයිස් ක්ලොට්ස් මහත්මිය අතර මුදල් අමාත්‍යාංශයේ දී සිදු විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p