ගල් අඟුරු ගනුදෙනුව සිදුකළේ විනිවිද භාවයෙන් යුක්තවයි…

July 21, 2016

ගල් අඟුරු මිලදීගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධව පැනනැගී තිබෙන තත්ත්වය පිළිබඳ මාධ්‍යයට කරුණු පැහැදිළි කිරීම සඳහා පැවති
මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගී වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

“ගල් අඟුරු ගනුදෙනුවේදී සමහර තැන්වල විශාල අලාභයක් හුවා දක්වා තිබුණා. මේක ඉතාම සරල වැරදි තර්කයක්.  ඒ වගේම විගණන විමසුමක් ගැන කතා කළා. අවසානයේ අමාත්‍යාංශ ලේකම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු 02 ක් යවලා තිබෙනවා විගණන විමසුම පිළිබඳව. ඒ වගේම උසාවි තීන්දුවේ නඩුව නිෂ්ප‍්‍රභා කරලා උසාවිය මගින් වැදගත් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා. එම නිර්දේශවලට අනුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි. කිසිඳු ප‍්‍රශ්නයක් නැතිව එම තීරණ ක‍්‍රියාත්මක කරන්න අපි සූදානම්. ඒ වගේම  ටෙණ්ඩර් පටිපාටිය මේ යුගයට ගැළපෙනවාද යන්න ගැටළු මතුවුණා. අපි දැනටමත් එය යාවත්කාලීන කරගෙන යනවා. අවසාන වශයෙන් අපි මේ ගැන සොයා බලන්න ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කළා.  කෙසේ හෝ අපි රටට කියන්න  ඕන පළමු පණිවිඩය තමයි මේ ගල් අඟුරු ගනුදෙනුව නිසා රටට කිසිඳු අලාභයක් සිදුවෙලා නැහැ කියන එක” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිලදීගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධව පැනනැගී තිබෙන තත්ත්වය පිළිබඳ මාධ්‍යයට කරුණු පැහැදිළි කිරීම සඳහා අද (21) පෙරවරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී මේ බව පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,

“මේ පිළිබඳ සියලූ සත්‍ය කරුණු මා විසින් පාර්ලිමේන්තුවට ඉතාම පැහැදිළිව ඉදරිපත් කළා. මෙගාවොට් 900ක විදුලිබල උත්පාදනය වෙනුවෙන් වසරකට ගල් අඟුරු මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 22 ක් අවශ්‍යයි. මේ ප‍්‍රමාණය මුහුද රළු නොවන මාස 06 ක කාලසීමාවක් තුළදී ලංකාවට ගෙන්විය යුතුයි. මෙය ඉතාමත් භාරධුර කර්තව්‍යයක්. 2009 තමයි ගල් අඟුරු මිලදී ගැනීම ආරම්භ කළේ. 2009 සිට 2015 දක්වා මේ කාලසීමාව තුළදී එකම  සමාගමක් තමයි සැපයුම්කරුවා බවට පත්වුණේ. නමුත් අභියාචන මණ්ඩල හෝ අමාත්‍ය මණ්ඩල මත ඔවුන් ගල් අඟුරු සැපයුම්කරුවා බවට පත්වෙලා තිබෙනවා. නමුත් මේ වසර 05 ක කාලසීමාව තුළදී නොයෙකුත් අර්බුධ මතුවී තිබෙනවා.  ඔවුන්ගේ ක‍්‍රමානුකූල නොවන, කාර්යක්ෂම නොවන සැපයුම නිසා පසුගිය වසරවල බිලියන ගණනක අලාභ අපි ලබලා තිබෙනවා.

ඉන්පසු තමයි අපි 2015 ටෙන්ඩර් කැදෙව්වේ. ටෙණ්ඩර් 8ක් ඉදිරිපත් වෙලා 4 ක් ප‍්‍රථම වටයේ ප‍්‍රතික්ෂේප වෙලා තිබෙනවා. ටෙණ්ඩර් මණ්ඩලයට අවශ්‍යවුයේ ලොකු තරගයක් ඇතිකරගන්න මේ කණ්ඩායම් 8 ම සහභාගි කරවන්නයි. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ඒ ප‍්‍රතික්ෂේප වූ කණ්ඩායම් 04 ත් නැවත එකතු කරගත්තා. හොඳම තරඟයක් ඇති කරලා අවම මිලට ගල්අඟුරු ලබාගැනීමත් ඒ සඳහා මෙහි තිබූ ඒකාධිකාරයය ඉවත්කිරීමත් තමයි මෙහි අරමුණ වූයේ. මේ සමය වෙද්දි මම විෂයභාර අමාත්‍යවරයා නෙමෙයි. අඩුම මිල ඉදිරිපත්කළ සමාගම තමයි මේ දීර්ඝකාලීන සැපයුම්කරුවා වී තිබන්නේ. ඉන්පස්සේ ගුණාත්මක භාවය පිළිබඳ පරාමිතීන් කිහිපයක් ඇතුල් කළාම මේ සමාගම දෙවෙනි තැනට ගොස් ප‍්‍රශ්නගත සමාගම පළමු තැනට ආවා. ඉන්පසු  මේ ටෙණ්්ඩර් මණ්ඩලයට ඉදිරිපත් වුණා ඒ පරාමිතීන් අතර තිබෙන සමහර කරුණු අසාධාරණ බව.  ඉන් වැදගත්ම කරුණ තමයි ප‍්‍රමාණය කියන කරුණ.  මිල පිළිබඳ තීරණය වන පරාමිතියක් හැටියට ලෝකයේ ගල් අගුරු මිලදී ගන්නා රටවල් 42 ක් අතරම මෙම ප‍්‍රමාණය කියන සාධකය සලකා බලන්නේ නැහැ. ඒ නිසාම ටෙණ්ඩර් මණ්ඩලය තීරණය කළා ඒ කියන කාරණාව නොසලකාහැර කටයුතු කරන්න. පොලිය ගණන් බැලීමත් වැරිදි ලෙස සිදුව තිබුණා. මාස 03 ක් වෙද්දි වසරක පොලිය එකතු කර තිබුණා. ඒ කරුණූ නිවැරදිවු විට ස්විස් සිංගප්පූරු සමාගම නැවතත් අඩුම මිල දරන්නා බවට පැමිණියා. මේ වනවිට මම විෂයභාර අමාත්‍යවරයා වී සිටියා.  කැබිනට් මණ්ඩලය ඉතා ගැඹුරින් සාකච්ඡුා කරලා  තීරණය කළා,  ලක්ෂ 22 ක ගල් අගුරු ප‍්‍රමාණයක් වසර 2 කදී ගන්න.  ඉතිරි 50% ප‍්‍රමාණය, ක්ෂණික මිලදී ගැනීම් වලින් සිදුකරන්න තීරණය කළා. ටෙණ්ඩර් මණ්ඩලය තීරණය කරලා තිබුණේ වසර 03කට ගල් අගුරු ගෙන්වන්න. වංචාවක් කරන්න  ඕන වුණානම් අපිට එම වසර 03 සඳහාම ගල් අඟුරු ගෙන්වන්න තිබුණා. නමුත්  අපිට අවශ්‍ය වූණේ රටට වාසි දායක දෙයක් කරන්නයි. ඒ හැරෙන්න කිසිඳු ටෙණ්ඩරයකට විශේෂයක් කරන්න අපිට  ඕන වුණේ නැහැ.

මේ අළුත් ක‍්‍රමයට අපි ගල් අඟුරු මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂ 22 ක් මේ වසරේ ගෙන්වා තිබෙනවා. ඒ ලක්ෂ 22 පරණ සැපයුම්කරුවාම සැපයූවානම්, ඒ සඳහා ගිය වියදමට වඩා මිලියන 1200 ක අලාභයක් රටට ලැබෙන්න තිබුණා. ඒ පමණක් නොවෙයි. අපට අවශ්‍ය මුළු ගල් අඟුරු තොගයම අපි මෙවර ලබාගත්තා. මේ බලාගාරයේ යන්ත‍්‍ර 03 ක‍්‍රියාකාරීත්වය නවත්වන්න සිදුවුණොත්, එක් දවසක අලාභය රු. මිලියන 300 ක්. මේ නව ක‍්‍රමය නිසා ඒ රු. මිලියන 300 ත් ආරක්ෂා කරන්න පුළුවන් වුණා. ඊටත් අමතරව එක්කෙනෙකුට දෙන්නෙකුට සීමාවී තිබු ගල් අඟුරු මිලදී ගැනීම, තරගකාරී විවෘත වෙළඳපලක ස්වරූපයකට පත්කිරීමට මෙමගින් හැකිවුණා, යැයි පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, අමාත්‍යාංශ ලේකම් බි.එම්.එස්. බටගොඩ යන මහත්වරුන්් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p