ස්ත්‍රීන් 13ක් දූෂණය කළ චූදිතයින් 3ක් නිදහස් කරන්නැයි විග්නේෂ්වරන් ඉන්දීය අගමැතිගෙන් ඉල්ලයි

April 25, 2015

ස්ත්‍රීන් 13ක් දූෂණය කිරීම හා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වී සිරදඬුවම් විඳින තිදෙනෙකු අහිංසකයින් බව සඳහන් කරමින්  ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ද වන වත්මන් උතුරු පළාත් මහඇමති සී.වී විග්නේෂ්වරන් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යවා තිබේ.

ඉන්දියාවේ ට්‍රිචි හි 1994 සිදුව ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස සිරදඬුවම් ලබා සිටින්නේ ලාංකිකයින් තිදෙනෙකි.

මෙම දූෂණ සිද්ධියට සිව්දෙනෙකු සම්බන්ධ වී ඇති අතර එහි ප්‍රධාන චූදිතයා ලෙස හඳුනාගත් බාලෙන්ද්‍රන් නැමැත්තා සිරදඬුවම් විඳිමින් සිටියදී 2011 වසරේදී මියගොස් ඇත.

ඉන්දීය අධිකරණයක් හමුවේ දෙවතාවකදීම මොවුන් සිව්දෙනා ජීවිතාන්තය දක්වා සිරදඬුවමට යටත්කර තිබේ.

එසේ වුවද මෙම දූෂණ සිද්ධියට ඔවුන්ගේ පැහැදිලි සම්බන්ධ‍යක් නැති බව පෙන්වාදෙන උතුරේ මහඇමතිවරයා මොවුන් අහිංසකයින් බවත්, මේ නිසා ඔවුන් කඩිනමින් නිදහස් කරන ලෙසත්, එම ලිපිය මගින් ඉල්ලා ඇත.

උතුරේ මහඇමතිවරයාගේ මෙම ඉල්ලීම ගැන ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විමතිය පළ කර තිබේ.

ඉන්දියානු අධිකරණයකින් වැරදිකරුවන් වූවන් අහිංසකයින් ලෙස විග්නේෂ්වරන් මහඇමතිවරයා විසින් හුවාදැක්වීම ගැන  ඔවුන් දැඩි විමතිය පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම චෝදනාවට වැරදිකරුවන් වී සිරඳඩුවම් විඳින තිදෙනා අතර සිටින අයෙකුගේ බිරියක් දූෂණයට  ලක්ව ගැබ් ගත් ද්‍රවිඩ තරුණියන්ගේ දරු කළල ගබ්සාවට වැරදිකාරිය වී 39 මසක් සිරදඬුවම් විඳ මේවන විට සිරෙන් නිදහස් ව සිටින බව ද එම වාර්තාවල දැක්වෙයි.

ස්ත්‍රීන් 13 දෙනෙකු දූෂණය කිරීම හා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ වරදට සිරදඬුවම් ලැබූ සිව්දෙනාගෙන් මේවන විට ඉතිරිව සිටින තිදෙනා ඉන්දියාවේ, නවදිල්ලි හි පුසාල් නැමැති බන්ධනාගාරයේ රඳවා සිටී.

 

derana

Sammy

Previous story Next story

Leave a comment

t

o

p