දින 100 ඉවරයි …..මොකද වුනේ ?

April 24, 2015

දින 100 අවසන් නමුත් නටපු තොයිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නැති තත්ත්වයට පත්ව ඇති බව පැහැදිළිව පෙනෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත මහතා මේ බව පෑවසීය.

මේ මාධ්‍ය සාකච්ඡාව සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතාද සහභාගීවිය.

එහිදී වැඩිදුරටත් අදහද් දැක්වූ චමීර කොස්වත්ත මහතා

‘‘අද වෙනකොට මෛත්‍රී-රනිල් යහපාලනයේ දින 100 අවසන්. රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති වියරුවට එරෙහිව වංචාව හා දුෂණයෙන් පිරුණු ආර්ථික ප්‍රතිපත්තියේ පීඩනයට එරෙහිව සමාජය තුළ දැවැන්ත බලයක් ගොඩනැගෙමින් තිබුණා. ගැඹුරු සමාජමය වෙනස්කම් ඉල්ලමින් ජනතාව සටනට පිවිසෙමින් තිබුණා. එහි විශාල බලයක් ජනනය වෙමින් තිබුණා. ඇත්තටම රාජපක්ෂ රෙජීමය පලවා හැරීමට තරම් ජනතාවගේ ශක්තිය පුළුල් සමාජමය වෙනසක් ඉල්ලමින් ප්‍රජාතන්ත්‍ර වාදය, ආර්ථික සමානාත්මතාවය වෙනුවෙන් දැවැන්ත සටනක් ජනතාව තුළ බිහිවෙමින් තිබුණා. ජනතාවගේ මෙම සමාජමය වෙනස සඳහා වූ උවමනාව මහදවල් මංකොල්ල කෑමෙන් තම තමන්ගේ පසු බල ව්‍යාපෘති ජයග්‍රහණය කරගැනීමට මෛත්‍රීපාලලා රනිල්ලා පිටපොට ගසනු අපි දැක්කා. ඒ බව අපි ජනතාවට පැවසුවා. කොහොමවුනත් දැන් දින 100 ක් ඉවරයි නටපු තොවිලෙකුත් නැති බෙරේ පලුවකුත් නැති බව පැහැදිලිවම පේනවා. රාජපක්ෂ පාලනයේ සමීපව සිටි හොරු, තක්කඩි ජාතිවාදීන් සමඟ මේ ආණ්ඩුව එකඟතාවයන්ට පැමිණ සිටිනවා. 19 වන 20 වන සංශෝධන, පාර්ලිමේන්තුව කල් තැබීම් වැනි සියල්ල මොවුන්ගේ බල ව්‍යාපෘති ශක්තිමත් කරන ක්‍රියාමාර්ග පමණයි. අවසානයේ මොවුන් අතර කුමන හෝ කණ්ඩායමක් බලය තහවුරු කර ගනීවි. රාජපක්ෂ පාලනය විසින් මතුපිටින් ආටෝපවත් කර තිබුණු නමුත් යටින් කුණුවී තිබූ ආර්ථිකයේ ජනතාවට තිබූ පීඩාව දශමෙකින් හෝ අඩුවී නැහැ.

සමාජ අර්බුද වෙනස් කරන්න ජනතාවට තිබූ උවමනාව, ප්‍රගතිශීලීයයි කියාගත්ත  වමේ කියාගත්ත  බොහෝ අය විසින්  එක් එක් අයගේ බල ව්‍යාපෘති ජයග්‍රහණය කරවන්න මෙහෙය වුවා. රාජපක්ෂ රෙජීමයට එරෙහිව නැගුනු ජනතාවගේ සැබෑ විරෝධය එජාපය, මෛත්‍රී, හෙළ උරුමය, ජවිපෙ මංකොල්ල කෑ බව ඉතා පැහැදිලියි. මේ සමාජ අර්බුදය ඉතාම ගැඹුරුයි, බරපතලයි. එය මතුපිට ක්‍රියාමාර්ග වලින් ආවරණය කරන්න බැහැ. ඒ වෙනුවෙන් සැබෑ ක්‍රියාමාර්ග තේරිය යුතුව තියෙනවා. සිල්ලර කාරනාවට ලිපි ලියලා ව්‍යාපෘති හදලා ඒවා ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරුයැයි විකුණාගෙන කමින් ජීවිතය ගැට ගසා ගන්නා කේවට්ටයන්ට තව දුරටත් ඉඩ තියන්න බැහැ.

ප්‍රශ්නය යලිත් මුලටම ඇවිත් තියෙනවා. රාජපක්ෂ ඇතුළු ජාතිවාදීන් ආයෙත් ජාතිවාදය අවුස්සන්න පටන් අරන් තියෙනවා. යලිත් තම තමන්ගේ බල ව්‍යාපෘති නග්නව ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මෙය අනුකම්පා විරහිතව හෙළිදරව් කළ යුතුයි. ඒ සඳහා අපි ජනතාවට ආරාධනා කරමු. ජනතාව ඉල්ලාසිටි කිසිදු වෙනසක් නොවී තිබෙන කිසිදු ජයග්‍රහණයක් නොලැබී තිබෙන මේ මෛත්‍රී-රනිල් පාලනය, රාජපක්ෂ රෙජීමය පරදවිමක් හෝ සමාජමය අර්බුද වලට පිළිතුරක් වි නැති නිසා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට දුන් පොරොන්දුවට පිටුපාමින් 19 වන සංශෝධනයේදී විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීමට යෝජනා කළා. 17 වන සංශෝධනයෙන් ගෙනාව කොමිසම් ගෙනවිත් තියෙන නිසාවත්, අවුරුද්දක් අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලය අවුරුදු හතරාමාරකට දිගු කරගත් නිසාවත් 19 වෙනි සංශෝධනයට එකඟ වෙන්න බැහැ. ජනතාව ඉල්ලා සිටියේ සම්පුර්ණ ප්‍රජාතන්ත්‍ර වාදය තහවුරු කිරීමයි. කසල ගොඩේ ලොසින්ජරයක් තියෙන නිසා කසල ගොඩම හොඳයි කියන අයත් ඉන්නවා. එවැනි අයට 19 දෙස තමන් කැමති විදියට බලන්න පුළුවන්. අනික් අතට අල්ලස් කොමිසම ලෙස පෙන්නලා තියෙන ක්‍රියාදාමය ගෙනවිත් තිබෙන්නේ හොරකම, සුරාකෑම තහවුරු කළ සිස්ටම් එක තුළයි. එවැනි සිස්ටම් එකක් තුළ හොරු අල්ලන්න පුළුවන් කමක් නැහැ. හොරු අල්ලීමකුත් නැහැ. සිදුවන්නේ තම තමන්ගේ බල ව්‍යාපෘතිවලදී තමන්ට බාධාවක් වෙන අනෙකා මර්ධනය කිරීමට අවස්ථා සලසා ගැනීම පමණයි. මෙහි තිබෙන්නේත් ජනතාව රවටන බොරුවක්.

ඡන්ද ක්‍රමය ලෙස එක් පක්ෂයකට වැඩි බලයක් ගතහැකි කේවල ආසන ක්‍රමයකුත් ඒ සමඟ ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයත් ඔවුන් රැගෙන එනවා. සමානුපාතික මැතිවරණ ක්‍රමයේදීත් මුදල් බලය ඇති අය ඡන්ද ගරා ගන්නා ක්‍රමවේදයන් මේ කේවල ආසන යෝජනා තුළ ඉවත් කරලා තියෙනවද? එසේ වී නැහැ. සිදුවී ඇත්තේ ජනතා බලයට විරුද්ධව පාලකයන්ගේ රාජ්‍ය බලය තහවුරු කරගැනීම පමණයි. හොරු ඇල්ලීමට උද්ඝෝෂණය කරනවා හොරු අල්ලන්න එපා කියාත් උද්ඝෝෂණය කරනවා මේවා කිහිපදෙනේක්ගේ රැකියා මිස පොදු ජනතාවගේ ක්‍රියාමාර්ග නෙමෙයි. මේවා දේශපාලන සෙල්ලම් සහ ගරු රඟපෑම් පමණයි. ’’

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතාද අදහස් දක්වමින්

 

‘‘භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ සිද්ධියට අදාලව විමර්ශන වාර්තාව නිකුත් වි තිබෙනවා. මේ අතරම තමන්ගේ කාලයේ තමන්ට ආරක්ෂා කරන්න සිදුවූ හොරුන් සිටි බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. මේ හොරු කවුරුන්දැයි ඔහු පැහැදිලි කළ යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරු පුරවැසියෙක්. ඔහුව ලංකාවට ගෙනැවිත් පැය 24ක් තුළ පුරවැසි භාවය දුන්නා. ඔහුට මහ බැංකුවේ අධිපතිකමත් දුන්නා. 2002 දී රනිල් ඔහුව BOI සභාපතිකමටත් පත්කලා. ඔහුගේ බෑනා මහා බැංකුවේ රහස් දැනසිටි බව පැහැදිලියි. බිලියන හතක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බව දැන සිටියේ ඔහුට අයත් සමාගමක් පමණයි. ඒ කෙසේද? ඒ සමාගමට 12.7% ක අධික පොලියක් ගෙව්වේ කොහොමද? මේ සම්බන්ධව පරික්ෂා කරන්න තිබෙන බාධාව අර්ජුන මහේන්ද්‍රන්ගේ ගජමිතුරු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බව අපි කිව්වා. මේ ගැන සොයන්න පත්කළ කමිටුව රනිල්ගේ මිතුරන්ගෙන් සමන්විතයි. මහ බැංකුවේ අදාළ මණ්ඩලවල මහ බැංකු අධිපති සිටියේ නැති නිසා මේ සිද්ධියට ඔහු වගකිවයුතු නැතැයි අදාළ කමිටුව කියනවා. ඒත් සැක කටයුතු යමක් සිදුවී ඇතිබව කියනවා. මෙහි සිදුවී ඇත්තේ තමන්ගේ යාලුවා බේරා ගැනීම වෙනුවෙන් තමන්ගේ යාළුවො තිදෙනෙක් පත්කර ගැනීමයි. හරියට හොරාගේ අම්මගෙන් නොවේ හොරාගේ යාළුවගේ යාලුවන්ගෙන් පේන ඇසීමක් සිදුව තිබෙනවා.

ගෝඨාභය අල්ලස් කොමිසමට පැමිණ විනාඩි තුනෙන් තමන්ට  විස්තර අමතකයයි පවසමින් පිටව ගියා. තමන්ට පළිගන්න අවශ්‍ය අයව සිරගත කිරීමත් තමන්ට ඉදිරියේදී අවශ්‍ය අය වීරයන් කරගැනීමට සිරගත කිරීමත් දේශපාලන සෙල්ලමක් ලෙස අපිට පෙන්න තිබෙනවා. ඒ බව ජනතාව පැහැදිලි කරගතයුතුව තියෙනවා. මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ ජනතාවගේ ඉල්ලීම්, ජනතාවගේ සටන් ක්‍රියාමාර්ග අවසන්ව නැති බවයි. අපි ජනතාවට ආරාධනා කරනවා සැබෑ ජයග්‍රහණ ලැබෙනතුරු සටන අත්නොහරින ලෙස. ’’

 

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p