මම පක්ෂයේ ඉඳන් හොර වැඩ කළේ නෑ!

April 19, 2015

අලුත් අවුරුදු උදාවෙන් හෝ යටපත් නොවුණු මෙරට දේශපාලන උණුසුම තව තවත් උණුසුම් කරමින් ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් සෝමවංශ අමරසිංහ මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා (16 වැනිදා) සවස නව පක්‍ෂයක්‌ නිර්මාණය කරන බව කියමින් ජවිපෙන් හදිසියේ නික්‌ම ගියේය. එම හදිසි දේශපාලන වෙනස පිළිබඳව zදිවයින ඉරිදා සංග්‍රහයZ ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය – ඔබ මෙවැනි තීරණයක්‌ ගත්තේ ඇයි?

පිළිතුර – සෝමවංශ අමරසිංහ මහතා(- මේ මොහොතේ ජනතා විමුක්‌ති පෙරමුණ දැඩි අපොහොසත් බවක්‌ පෙන්නුම් කරනවා. ඔවුන් ජයග්‍රහණය ඕනකමින් කල් යවාගෙන තිබෙනවා. කල් අල්ලන් සිටීමේ හැකියාව ජවිපේ සාමාජිකයන්ට තිබුණත් එය රටේ ජනතාවට නැහැ. කිසි තේරුමක්‌ නැතිව ජයග්‍රහණ කල් දමා ගන්නවත් අවස්‌ථා පැහැර හරින්නවත් ඕන නැහැ. ලැබෙන අවස්‌ථා දක්‍ෂ ලෙස ගැනීමයි දේශපාලනයේදී කළ යුත්තේ. එම අපොහොසත් බව මෙම තීරණයට බලපෑවා.

ප්‍රශ්නය – ඉතිහාසයේ දැවැන්ත මර්දන දෙකකට මුහුණ දුන් ඒ වගේම මෑතදී බෙදී යැම් කිහිපයකට මුහුණදුන් ජනතා විමුක්‌ති පෙරමුණේ ඉදිරි ගමන මෙම තීරණය සමඟ ආපස්‌සට ගමන් ගනීවි යෑයි ඔබ සිතන්නේ නැද්ද?

පිළිතුර – මේ මොහොතේ එය එසේ පෙනෙනවා විය හැකියි. ඉදිරි දවස්‌ ගතවෙද්දී වෙනස්‌ දෙයක්‌ පෙනෙන්නට තිබේවි. එතකන් ඉවසන් සිටින්න වෙනවා. මෙය නිවැරදි මෙන්ම නිසි වෙලාවට ගත් තීරණයක්‌.

ප්‍රශ්නය – මෙම බෙදීයැම අනෙකුත් පක්‍ෂවලට වාසිදායක තත්ත්වයක්‌ නේද?

පිළිතුර – ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා එක්‌සත් ජාතික පක්‍ෂය මේ රටේ දැන් ඉවරයි. ඒ වටා ඉන්න ජනතාවට දැන් හරිමඟ පෙන්වන්න ඕන. මම හදන පක්‍ෂයයි ජනතා විමුක්‌ති පෙරමුණයි ඒ සඳහා තිබිය යුතු පක්‍ෂයි. ජනතාවට අතරමං වෙන්න අප ඉඩ තියන්නේ නැහැ. මෙම තීරණය වෙන පක්‍ෂයකට කිසිදු වාසියක්‌ නොවෙයි.

ප්‍රශ්නය – පක්‍ෂය වෙනුවෙන් දැවැන්ත කැපකිරීම් කළ දැනට පක්‍ෂයේ සිටින ඔබ වගේ පතාක යෝධයකු පක්‍ෂයෙන් ඉවත්වීම පක්‍ෂයට හානියක්‌ නොවෙයිද?

පිළිතුර – පළමුව කියන්න ඕන මම පාතක යෝධයකු නොවන බව. අපි කවුරුත් සහයෝගයෙන් වැඩ කළ මිනිස්‌සු. එම විශේෂණ පද වලංගු කරන්න එපා. මම ඒකට කැමැති නැහැ. එක පුද්ගලයකු ඉවත්වීම ජනතා විමුක්‌ති පෙරමුණට හානියක්‌ වෙන එකක්‌ නැහැ. විඡේවීර සහෝදරයා ඝාතනය වුවත් පක්‍ෂයේ කටයුතු අවසන් වුණේ නැහැ.

ප්‍රශ්නය – ඔබතුමා අලුතින් හදනවා යෑයි කියන නව පක්‍ෂයේ නම කෙබඳුද?

පිළිතුර – තවම තීරණය කර නැහැ. ඉදිරියෙදී බලාගන්න පුළුවන් වේවි. සමුළුවක්‌ කැඳවා තීන්දු තීරණ ගෙන නායකකාරකාදීන් තෝරාගත යුතුයි. එතකන් අප තාවකාලික සංවිධානයක්‌.

ප්‍රශ්නය – එම සමුළුව කැඳවන්නේ කවදාද?

පිළිතුර – අනිවාර්යෙන්ම ළඟදි කැඳවනවා. අපට හැකි පළමු මොහොතේදීම එය සිදුකරනවා.

ප්‍රශ්නය – ඒ කියන්නේ තවම දිනයක්‌ නැද්ද?

පිළිතුර – මම ජනතා විමුක්‌ති පෙරමුණේ සිට වෙන පක්‍ෂ හැදුවේ නැහැ. එහෙම සිදු කළා නම් හෙටම සමුළුවක්‌ කැඳවන්න තිබුණා.

ප්‍රශ්නය – ඔබ පක්‍ෂය තුළ සිටියදී සුජාතභාවය රැකගත් බවද ඒ කියන්නේ?

පිළිතුර – අනිවාර්යෙන්ම ඔව්. මට උගන්වපු රෝහණ විඡේවීර සහෝදරයාගේ සහ ඊට පෙර උගන්නපු සියලු දෙනාගේ ගරුත්වය රකින්න ඕනා. ඒ දේ මම එදත් අදත් හෙටත් කරනවා.

ප්‍රශ්නය – මෙය හදිසි තීරණයක්‌ද?

පිළිතුර – ටිකක්‌ බලන් හිටියා.

ප්‍රශ්නය – කොටස්‌වලට කැඩී යන්න තවත් පක්‍ෂ තනන්න ජනතා විමුක්‌ති පෙරමුණ තුළ මෙතරම් සාමාජිකයන් ප්‍රමාණයක්‌ සිටිනවාද?

පිළිතුර – මෙරට ඡන්ද දායකයන් කෝටි එකහමාරකට වැඩිය සිටිනවා. මේ ඉන්නේ පක්‍ෂ හදන්න පුළුවන් මිනිස්‌සු. ප්‍රධාන පක්‍ෂ දෙකෙන් ජනතාව ඉතා සීග්‍රයෙන් ගිලිහි යමින් තිබෙනවා. ඒ තුළ අපට ඉතා හොඳ අවස්‌ථාවක්‌ තිබෙනවා. අප එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගත යුතුයි.

ප්‍රශ්නය – මෙම ක්‍රියාමාර්ගය තුළ ඔබ ජනතා විමුක්‌ති පෙරමුණ දෙකඩ කළේ යෑයි චෝදනා කළොත්?

පිළිතුර – මම පක්‍ෂයේ හොර වැඩ කරලා නැහැ. පක්‍ෂයෙන් ඉවත්වුන පසුගිය බ්‍රහස්‌පතින්දා (16 වැනිදා) සවස 3.00 වෙනකන් පක්‍ෂය තුළ සිදුවූ දේට මමත් වගකියනවා. මේ පක්‍ෂය දෙකඩ වීමක්‌ හෝ ආපස්‌සට ගෙන යැමක්‌ නොවෙයි.

ප්‍රශ්නය – ඔබතුමාගේ දැන් වයස කීයද?

පිළිතුර – අවුරුදු 71 යි.

ප්‍රශ්නය – ඉදිරි කටයුතුවලට වයස බාධාවක්‌ නොවෙයිද?

පිළිතුර – වයස 70 පසු කළ නායකයෝ කොපමණ සිටිනවද? අනුර කුමාර දිසානායක සහෝදරයා හැර ප්‍රධාන පක්‍ෂ තුනේ වයස අවුරුදු 70 ට ආසන්න නැති කිසි කෙනෙක්‌ ඉන්නවද? මේවා පත්තරේ දානවා නේද? හරියට දාන්නෙ නෑ.

ප්‍රශ්නය – ඔව්. අනිවාර්යෙන්ම අප පළ කරනවා.

පිළිතුර – ඔබලාගේ අදහස්‌ දාගන්න පුළුවන්. නමුත් මම කථා කරන ඒවා මගේම වචන වලින් දාන්න ඕනා. එහෙම සමුදායක්‌ මේ රටේ නැහැ. ඔය දේ කෙරෙනකම් මම ඒ දේ කෙරෙයි කියලා විශ්වාස කරන්නේ නැහැ.

ප්‍රශ්නය – ඒ කියන්නේ වයස බාධාවක්‌ නොවන බව නේද?

පිළිතුර – ඔය ප්‍රශ්නය තුළ ප්‍රහාරයක්‌ ඇති බව පෙනෙනවා. එය මම කියන්න ඕන. වයස 70 නොවෙයි අසූව පිරුණ නායකයොත් ඉන්නවා. මම දේශපාලනයෙන් විශ්‍රාම ගියේ නැහැ. ජවිපෙ නායකත්වයෙන් ඉවත්වූ දා මම කිව්වේ විප්ලවවාදියකු කිසිදා විශ්‍රාම නොයන බව පේනවා නේද කැස්‌ත්‍රොa සහෝදරයා. ඔහු නායකත්වය අතහැරියා. නමුත් ඔහු තාම වැඩනේ. මමත් පෙරට වඩා දැන් වැඩ කරනවා.

ප්‍රශ්නය – සෞඛ්‍ය තත්ත්වය කෙසේද?

පිළිතුර – මාස තුනකට වරක්‌ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කරනවා. දොස්‌තර මහත්තයා කියන්නේ ‘එක්‌ස්‌ට්‍රා ඕඩිනරි නෝර්මල්” (Extra ordinary normal) කියලයි. ඒ කියන්නේ අසාමාන්‍ය ලෙස සාමාන්‍යයි; මට ඒ ගැන හරි සතුටුයි. මට ජීවිතේ බරක්‌ නැහැ. එකම බර මේ රටේ සිදු නොවිය යුතු දේවල් ටිකක්‌ සිදුවීමයි. එය නතර කළ යුතුයි.

ප්‍රශ්නය – ඒ සඳහා කාලයක්‌ ගතවේවිද?

පිළිතුර – නැහැ. මෙය අවුරුදු ගණන් දිග්ගැස්‌සෙන එකක්‌ නෙමෙයි. මේ රටේ ජනතාව පණිවිඩය හරියට තේරුම් ගත්තොත් ඉතා සුළු කාලයකින් ප්‍රතිඵල ලැබීම සහතිකයි. ඒ ගැන දෙගිඩියාවක්‌ නැහැ.

ප්‍රශ්නය – ඔබගේ මෙම නව ගමනට උත්තේජනයක්‌ වන්නට ඔබ පිටුපස සිටින්නේ කවුද?

පිළිතුර – කිසි කෙනෙක්‌ නැහැ. මෙම වැඩපිළිවෙළ මගේ. එහෙම ඉන්නවා කියලා ඔබ දන්නවා නම් මට කියන්න.

ප්‍රශ්නය – අප එහෙම විමසුම් මෙවැනි තීරණ පිටුපස කුමන්ත්‍රණ තිබෙන බව පසුකාලීනව පැවසෙන නිසයි.

පිළිතුර – මෙයට කුමන්ත්‍රණ පටවන්න හරි අමාරුයි. අපේ පක්‍ෂයේ කුමන්ත්‍රණ නැහැ. ජනතා විමුක්‌ති පෙරමුණ කුමන්ත්‍රණ කළ පක්‍ෂයෙක්‌ නොමෙයි.

ප්‍රශ්නය – ජවිපෙට කිසිදා ආණ්‌ඩු බලයක්‌ ලබාගත නොහැකි යෑයි ඔබ සිතනවාද?

පිළිතුර – පැහැදිලිව පුළුවන්. ඒ වෙනුවෙන් කෙරෙන්න ඕන ප්‍රතිසංස්‌කරණ කිහිපයක්‌ තිබෙනවා.

ප්‍රශ්නය – ඒ මොනවද?

පිළිතුර – ඒ ගැන අප පසුව කථා කරමු. අපගේ මෙම ප්‍රයත්නයත aසමඟ ජ. වි. පෙ.ට ඒ සඳහා ධෛර්යක්‌ ලැබේවි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන පක්‍ෂය ජ.වි.පෙයි. ඒ ගැන මට කිසිදු සැකයක්‌ නැහැ.

ප්‍රශ්නය – එහෙම නම් ඇයි ජවිපෙන් එළියට යන්නේ.

පිළිතුර – ජනතා විමුක්‌ති පෙරමුණ නිවැරදි මඟකට ගැනීමටයි. ඉදිරියේදි මේ රටේ පවතින්නේ මම අලුතින් තනන පක්‍ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ පමණයි.

ප්‍රශ්නය – ඔබතුමාව නැවත ජවිපෙ සමඟ සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගන්නා බව එහි නායකයන් මාධ්‍යයට සඳහන් කර තිබුණා.

පිළිතුර – මම පියවරක්‌ අරන් තිබෙනවා. මම පක්‍ෂ හොයන් ගිය මිනිහෙක්‌. ඒ නිසා මාව පක්‍ෂවලට ගන්න කවුරුත් උත්සාහ ගන්න ඕන නැහැ. මගේ පියවර ගැන මම දන්නවා.

ප්‍රශ්නය – ජනතා විමුක්‌ති පෙරමුණේ ඇතැයි කියන අඩුපාඩු හදා ගත්තොත් නැවත ඒ වෙත යැමට ඔබට නොහැකිද?

පිළිතුර – එය ර¹ පවතින්නේ මගේ අත නොවෙයි. මගේ මේ ව්‍යායාමය ජනතා විමුක්‌ති පෙරමුණට එරෙහිවීම හෝ එම පක්‍ෂයට එරෙහිs තවත් පක්‍ෂයක්‌a හැදීම නොවෙයි.

ප්‍රශ්නය – අඩුපාඩු හදාගෙන සියලු දෙනා එක මතයට කැඳවාගෙන පක්‍ෂය ඉදිරියට කැඳවාගෙන යැමට ඔබ කටයුතු කළේ නම් මීට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි යෑයි හිතුවෙ නැද්ද?

පිළිතුර – එහෙම හිතුව නම් මම තවමත් පක්‍ෂයේ ඉන්නවනේ. ඉදිරියේදී ජනතා විමුක්‌ති පෙ රමුණට හොඳ ප්‍රගතියක්‌ ලබාගන්න හැකියි. හැබැයි ඒ සඳහා ප්‍රතිසංස්‌කරණ කළ යුතුයි.

ප්‍රශ්නය – උපක්‍රමිකව ජනතා විමුක්‌ති පෙරමුණ අසමත්ද?

පිළිතුර – ඔව්. මේ මොහොතේ එය එසේ වී තිබෙනවා. අනිත් පක්‍ෂ දෙකේ දේශපාලනඥයන් වේදිකා උඩ හෙළුවෙන් නටනවා. සියලු විහිළුකාරයන් හෙළිදරව් වී තිබෙනවා. නමුත් එහි වාසිය ජ. වි. ෙ ප. ලබාගෙන නැහැ.

ප්‍රශ්නය – ඔබගේ මෙම තීරණයත් සමඟ ජනතා විමුක්‌ති පෙරමුණ වටා සිටි ක්‍රියාකාරීන්ගේ අපේක්‌ෂා භංගත්වයට පත්වී නොයාවිද?

පිළිතුර – මේ මොහොතේ දුකෙන් අඬන අපේක්‌ෂා භංගත්වයට පත්වූ අය ඉන්න බව දන්නවා. ටික දිනකින් ඒ සියලු දෙනාගේ අදහස්‌ අප එක තැනකට ගන්නවාමයි.

ප්‍රශ්නය – ජ. වි. පෙ. වර්තමාන අනුර කුමාර මහතාගේ නායකත්වය සමඟ ඔබට ප්‍රශ්නයක්‌ තිබෙනවාද?

පිළිතුර – අනුර කුමාර සහෝදරයා කියන්නේ දක්‍ෂ නායකයෙක්‌. ජ.වි.පෙට හමුවුණු දක්‍ෂ නායකයෙක්‌.

ප්‍රශ්නය – ඔහු ඔතරම් දක්‌ෂ නම් ඔබ පවසන ජවිපෙ අසමත්ය කියන චෝදනාවේ වගකීම පැවරෙන්නේ ඔහුට නේද?

පිළිතුර – නැහැ. මුළු පක්‍ෂයටමයි. තනි මිනිසෙකුට වගකීමක්‌ පවරන්න බැහැ. අපේ පක්‍ෂය එහෙම දෙයක්‌ නැහැ.

ප්‍රශ්නය – ඔබගේ නව පක්‍ෂයට එක්‌වන්නට කැමැති සහ ජවිපෙ සාමාජිකයන්ට කියන්න ඇත්තේ කුමක්‌ද?

පිළිතුර – මම වෙන වෙනම එක එක අයට ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ඉදිරි කාලයේදී සිදුවන දේ බලාගන්න පුළුවන්. ඒ ගැන දෙගිඩියාවක්‌ තියාගන්න එපා. මම තවම සියලු දේ කිව්වේ නැහැ. එතෙක්‌ බලා සිටින්න.

සාකච්ඡාව
සිරිමන්ත රත්නසේකර

Sammy

Previous story Next story

Leave a comment

t

o

p