වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගන්න වැඩසටහන් පැවැත්වීමට සිදුවීම සෝචනීය තත්ත්වයක්

October 5, 2024

දැනුම් තේරුම් ඇති වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගැනීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට සිදුවීම ඉතා සෝචනීය තත්ත්වයක් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. වැඩිහිටියන්ගේ විවිධ නොපනත්කම්වල ගොදුරක් බවට දරුවන් පත්ව ඇතැයි ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය. දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ පාසල් ළමාරක්ෂක කමිටුව හෙවත් “සුරැකුම් පවුර” පිහිටුවීම සහ පාසල් ළමා ආරක්ෂාව සක්‍රීය කිරීම පිළිබඳව අධ්‍යපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට ඉකුත්දා අනුරාධපුරයේදී එක්වෙමිනි.

ජාතික වශයෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනෙහි අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන මෙසේ පැවැත්විණි. දරුවන් සුරැකීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම එහි අරමුණ වී තිබේ. කමිටු පිහිටුවා නොමැති පාසල් තුළ පාසල් ළමාරක්ෂක කමිටු පිහිටුවීම හා පිහිටුවා ඇති පාසල් ආශ්‍රිතව කමිටු බලගැන්වීම මෙහිදී සිදුවන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරී මහේන්ද්‍ර දසනායක මහතා සඳහන් කළේය. මේ සඳහා අවැසි තාක්ෂණික දායකත්වය ළමාරක්ෂක අධිකාරිය මඟින් පිරිනැමෙන බව ද ඒ මහතා පැවසීය. අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාමිලා වික්‍රමආරච්චි මහත්මිය, අනුරාධපුර කලාප අධ්‍යපන අධ්‍යක්ෂිකා මහේෂිකා මංජරිකා මහත්මිය ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් හා විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පවරුන් හා ගුරු භවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව හා එක්ව සිටියහ.

t

o

p