නාම යෝජනා කැඳවීම ගැන සාමාන්‍ය ජනතාවත් දැනගත යුතු කරුණු

August 14, 2024

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව හෙට (15) පෙරවරු 9.00 ට උදේ 9.00සිට 11.00 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.

නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම උදේ 11.00 සිට 11.30 දක්වා කළ හැකියි.

විරෝධතා කාලය අවසන් වීමෙන් පසු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් සඳහා ඡන්ද ලකුණු නිකුත් කිරීම සිදු කරන අතර
මේ කාලයේදී මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාව සැපයීමට රජය තීරණය කර තිබේ.

නාම යෝජනා බාර ගන්නා අවස්ථාවේදී එම ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් බවට පත් කෙරෙන අතර කලාපයට ඇතුළුවිය හැක්කේ අවසර ලත් පුද්ගලයන් සහ අවසර ලත් වාහනවලට පමණයි.

නාම යෝජනා බාර ගන්නා කාලයේදී සරණ මාවත ආශ්‍රිත රජයේ ආයතන සහ රෝහල් වසා දමන හෙයින් සාමාන්‍ය කටයුතු සහ වෙනත් රාජකාරී සඳහා පැමිණීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නාමයෝජනා බාරදීමට ශාලාවට පැමිණිය හැක්කේ අපේක්ෂකයාට සහ තවත් දෙදෙනෙකුට පමණක් බවත් ඒ අයට විශේෂ අවසර පත්‍ර නිකුත් කර ඇති බවත් කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කරනලදි.

ඒ වගේම තවත් අමුත්තන් තිදෙනකුට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට යාබද ගොඩනැගිල්ලේ රැඳී සිටීමට අවසර දෙනු ලබයි.

සරණ මාවතට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයා රැගෙන එන වාහනයට පමණකි. අපේක්ෂකයා සරණ මාවතේ අවසාන මාර්ග බාධකය ආසන්නයේදී වාහනය නවතා මැතිවරණ කාර්යාලයට පයින් ගමන් කළ යුතුය. අපේක්ෂකයන් සමග එන ආධාරකරුවන්ට රැඳී සිටීමට විශේෂ ස්ථාන සලසා තිබේ.

නාම යෝජනා බාරදීමෙන් අනතුරුව පෙලපාලි පැවැත්වීම තහනම් බව කොමිසම සඳහන් කරනලදි.

නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත අපේක්ෂකයන් කැඳවා එක් අපේක්ෂකයකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල දැනුම් දෙන බව කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

ජනාධිපතිවරණයට අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 1000 ක් පමණක් බවත් මෙම මුදල වැඩි කර ගැනීමේ හැකියාවක් නැති බවත් කොමිසම පවසයි.

කෙසේ වෙතත් වැඩිවන අපේක්ෂකයන් අනුව ආයතන වියදම් සහ මුද්‍රණාල වියදම් සියල්ල වැඩි වන බව පවසන කොමිසම එය විශාල අභියෝගයක් බවද සඳහන් කරයි.

මැතිවරණ කටයුතු නිරීක්ෂණයට යුරෝපා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලය ඉල්ලීම් කර ඇති බවත් ඒ අයගේ වියදමින් ඒ කටයුතු කරන බවත් ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කරනලදි.

නාමයෝජනා බාර ගන්නා දින මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා 1500ක පමණ පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් යොදවන බවද පවසනලදි.

t

o

p