පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ

August 10, 2024

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙය් පළමු කුඹල් පෙරහැර අද (10) රාත්‍රී විදි සංචාරය කිරීමට නියමිතයි.

නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල පෙරහැර පෙරටුව ඇසළ පෙරහැර පස්වරු 06 පසුවී මිනිත්තු 06ට යෙදෙන සුබ මොහාතින් පෙරහැර ගමනට එක්වේ. දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණෙන පෙරහැර දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සෙ ඉහළට පැමිණ ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීම සිදු කිරීමට නියමිතයි.

අද සිට අගෝස්තු මස 14 වන දින දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කරන අතර පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 15 වන දින වීදි සංචාරයට එක්වේ.

එදින සිට පුරා දින පහක් එනම් අගෝස්තු මස 19 දින දක්වා රන්දෝලි පෙරහැර වීදි සංචාරය සිදුකිරීමට නියමිතයි.

අගොස්තු මස 19 වන දින අවසන් රන්දෝලි පෙරහැර විදි සංචාරය කොට සධාතුක පෙරහැර කරඩුව එතිහාසික ගෙඩිගේ රජ මහ විහාරස්ථානයේ තැම්පත් කිරීමෙන් පසු සිව් මහා දේවාල පෙරහැර ගැටඹේ දිය කපනා ගං තොටේදී දිය කැපීම සිදුකරති.

අනතුරුව දිවා පෙරහැර සහ පෙරහැර නිමාවට පත් වූ බව සඳහන් සන්දේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.

t

o

p