ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක්

August 7, 2024

ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “රට වටා මාධ්‍යවේදීයෝ සංවිධානය” විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර තිබූ “ගෞරවාර්ථ හරසර” වැඩසටහනට එක්වෙමින්.

රටේ ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙන යාමට නම් වගකිව යුතු පක්ෂවලින් සමන්විත නව දේශපාලන ක්‍රමයක් රටේ ඇති කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මැතිවරණ කල් දැමීමට තමාට කිසිදිනක අවශ්‍ය නොවු බවත් රටේ ඉදිරි ගමන තීරණය කිරීමේ වගකීම මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාවට පවරන බවත් සඳහන් කරනලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

”අපේ රටේත් ආර්ථික ක්‍රමය කැඩි යන විට දේශපාලන ක්‍රමය කැඩුණු බව අප අමතක නොකළ යුතුයි. අද බංග්ලාදේශයේ කවුද ආණ්ඩු හදන්නේ. ඒ ප්‍රශ්නය ඉක්මණින් විසඳෙනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා.මාසයක් ගත වුණත් අප බංග්ලාදේශය ගැන විශ්වාසය අතහරින්න හොඳ නැහැ. අප බංගල්දේශය සමඟ සිටිමින් ඔවුන්ට උපකාර කළ යුතුයි.රටක දේශපාලන ක්‍රමය කැඩුණ විට එය එකට එක් කිරීම ලෙහෙසි නැහැ. අපේ දේශපාලන ක්‍රමය කැඩී තිබෙන බව අප පිළිගත යුතුයි. අද පොදුජන පෙරමුණේ වැඩි පිරිසක් මා සමඟ සිටින අතර සුළු පිරිස සමගි ජන බලවේගය සමඟ සිටිනවා. ජනාධිපතිවරයා පත්කර ගැනීම වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ඡන්දය දෙන්නේ නැතිව පොදුජන පෙරමුණෙන් පැමිණි අපේක්ෂකයාට ඡන්දය දුන්නා. ද්‍රවිඩ පක්ෂ කැඩිලා. මේ සියලු දේශපාලන පක්ෂ කැඩිලා. අද අපේ රටේ නියම පක්ෂ ක්‍රමයක් නැහැ. සිවිල් සමාජය සමග යනවද, පැරණි ජනතා විමුක්ති පෙරමුණ සමඟ යනවද කියා තීරණය කළ නොහැකිව අද ජනතා විමුක්ති පෙරමුණ බෙදී තිබෙනවා. අද ජනතා විමුක්ති පෙරමුණ තුළ ලෙනින් නැහැ, ස්ටාලින් නැහැ, එහි ඉතිරිව සිටින්නේ විජේවීර පමණයි. විජේවීර නැතිව ලෙනින් සහ ස්ටාලින් සිටියා නම් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. අඩුම තරමින් මාක්ස් හිටියානම් කමක් නැහැ. අද මාක්ස් සහ ලෙනින් ඉවත් කර විජේවීර දාලා තිබෙනවා. මේ විදියට තමයි අද දේශපාලන ක්‍රමය ඉදිරියට යන්නේ. රටේ ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙන යාමට නම් වගකිව යුතු පක්ෂවලින් සමන්විත නව දේශපාලන ක්‍රමයක් ද ඇති කළ යුතුයි. මෙවර ජනාධිපතිවරණයට මම ස්වාධීනව ඉදිරිපත්වීමට තීරණය කළේ ඒ නිසයි..”

ප්‍රදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු සහ යෝජනා ඇතුළත් යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවා.

මෙම අවස්ථාවට අමාත්‍ය කංචන විජේසේකර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ප්‍රේමනාත් සී.දොළවත්ත, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

t

o

p