පොලී රහිත ණය ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

July 22, 2024

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාව ලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණි.

පළමු අදියරේදී මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා විසින් එම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබනලදි.

ඒ අනුව ඉදිරියේ දී මහජන බැංකුව සමඟද ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි.

කෘෂි නවීකරණ වැඩසටහනෙහි පළමු අදියරයේ දී නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26හි කෘෂි නවීකරණ කේන්ද්‍රස්ථාන හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 25 බැගින් රුපියල් මිලියන 650 ක මුදලක් වෙන් කර ඇති අතර, දෙවන අදියරයේදී රුපියල් මිලියන 10ක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් හඳුනාගෙන තිබේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කෘෂි නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී, අදාළ ව්‍යාපෘති පිරිවැයෙන් 30% කට වැඩි දායකත්වයක් කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් විසින් දරනු ලබන අතර ඉතිරි 70% සඳහා රජය දායකත්වය දරයි.

චක්‍රීය ණය යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවනු පිණිස රජය විසින් ලබාදෙන දායකත්වය කෘෂි නවීකරණ ණය යෝජනා ක්‍රමය යටතේ පොළී රහිත ණයක් ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු ත්‍රිත්වයෙන් ප්‍රතිලාභියාගේ ස්වකැමැත්ත අනුව තෝරා ගන්නා ලද බැංකුවක් මගින් නැවත අයකර ගැනීමට හැකි වන පරිදි ක්‍රමවේදයක් සකස්කර ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ගේ නමින් වන ගිණුමක තැන්පත් කර ඇති අරමුදලින් තෝරාගත් හා අනුමැතිය ලද ව්‍යාපෘති සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු ත්‍රිත්වය අතරින් ප්‍රතිලාභියාගේ ස්වකැමැත්ත අනුව තෝරා ගන්නා ලද බැංකුවක් හරහා කෘෂි ව්‍යවසායකයින් වෙත පොලී රහිත ණයක් ලෙස මෙම මුදල් ලබා දීම සිදු වෙයි.

ණය සහන කාල සීමාව උපරිම මාස 06ක් වන අතර, ණය සහන කාල සීමාව ද ඇතුලත්ව ණය මුදල ආපසු ගෙවිය යුතු උපරිම කාල සීමාව වසර 05කි. එසේම ණය සහන කාල සීමාව හා ණය මුදල ආපසු ගෙවිය යුතු කාල සීමාව ගොවීන් හෝ කෘෂි ව්‍යවසායකයින් විසින් ලබා ගන්නා ලද ණය මුදලේ ප්‍රමාණය හා ව්‍යාපෘතියේ ස්වභාවය මත කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන මගින් තීරණය කෙරෙයි.

මෙම පොලී රහිත ණය යෝජනා ක්‍රමය පිළිබඳ අදහස් දැක් වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ‍

අප දැන්වත් නිෂ්පාදනය මූලික කරගත් වැඩසටහන් වලට පරිවර්තනය වීමට අවශ්‍ය්‍යයි. මෙම ගිවිසුම මඟින් අප උත්සාහ කරන්නේ නිෂ්පාදන ශක්‍යතාවය තිබෙන කාණ්ඩය හඳුනාගෙන ඔවුන් දිරිගන්වා, අවශ්‍ය පහසුකම් සපයා, අනාගතයේදී නිෂ්පාදනය ඉහළ නංවන වැඩපිළිවෙළකට පරිවර්තනය කිරීමටයි.

මෙතෙක් අප උත්සහ කර තිබෙන්නේ පුද්ගලයින්ට උදව් කර නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමටයි. නමුත් මේ වනතුරු අපට ඒ ඉලක්කයට යෑමට නොහැකි වුණා. සාර්ථකත්වය කරා යෑමේ හැකියාවක් තිබෙන්නේ නිශ්පාදනය ඉහළ නැංවුවොත් පමණයි. කෘෂි නවීකරණ වැඩසටහන තුළින් අපට විශාල ජයග්‍රහණ අත්පත් කර දෙනු ඇති බව අප විශ්වාස කරනවා. දිගු කාලීනව අපේක්ෂිත ඉලක්කවලට යෑමට මෙම වැඩසටහන ඉතා වැදගත් වනු ඇතියි. එම නිසා අමාත්‍යාංශයක් ලෙස අප මෙම වැඩසටහනට අපගේ උපරිම දායකත්වය ලබා දෙයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එස්. එච් සමරතුංග මහතා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය දෙකකදී කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳව සඳහන් කර තිබෙනවා. එහි ඉදිරි ගමන වෙනුවෙන් අද අත්සන් කළ ගිවිසුම ඉතා වැදගත් පියවරක් වෙයි.
මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් , දේශීය ව්‍යවසායකයන්ට ලබාදී එම ඉඩම් කට්ටිවලින් සමස්තයක් ලෙස අපනයන කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීමත්, දේශීය ව්‍යවසායකයන් හරහා වාණිජ කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීමත් මෙහි එක් අරමුණක් වෙයි.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි ජනාධිපති උපදේශක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි සේනානායක, කෘෂිකර්ම ඵලදායිතා හා ඉඩම් අංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්, කෘෂිකර්ම ඵලදායිතා හා ඉඩම් අංශයේ අධ්‍යක්ෂ ඒ.ඒ.සී. නිලන්ති පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන්, ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි ආර්.එම්.එන් ජීවන්ත, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී/ සාමාන්‍යාධීකාරී (වැ.බ.) ඊ.ඒ.ඩී. ජනිත ප්‍රියශාන්ත යන මහත්වරුන්, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීන් සහ රාජ්‍ය බැංකු නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

t

o

p