“ වසර 40 කට පෙර ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීමේ ප්‍රතිඵල අද භුක්ති විදිනවා “ – ඇමති ප්‍රසන්න

July 18, 2024

මීට වසර 40 ට පෙර ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එකග නොවීමේ ප්‍රතිඵල අද අප භුක්ති විදින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන” යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිණි.

මෙම උත්සවය අද (18) ගම්පහ නයිවල ජයසිංහ සිටි සෙන්ටර් උත්සව ශාලාවේදී පැවැත්වුණි.

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් (100,000) වෙනුවෙන් මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3,600ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් රුපියල් 3000 බැගින් වසරක් ශිෂ්‍යත්ව ලබා දෙන අතර උසස් පෙළ දරුවන් සඳහා රුපියල් 6000 බැගින් වසර දෙකක් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් 6490 ක් මේ සඳහා සුදුසුකම් ලබා සිටිති. මෙම උත්සවයේදී මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරුවන් 1,377ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දුන්හ.

මීට අමතරව දරුවන්ට රුපියල් 1000ක් වටිනා පොත් කට්ටලයක්ද මෙහිදී ප්‍රදානය කෙරුණි.

සෑම පාසලකම සිටින ඉතා අවම පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරන දක්ෂ සිසු දරුවන් තෝරාගෙන එම දරුවන් දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම මගින් රටේ දරුවන්ට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමත්, එමඟින් රටේ මානව සම්පත වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවයි.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනන්දා ගුණතිලක, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා, මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරි (ප්‍රසම්පාදන) කේ දිල්රුක්ෂි යන මහත්ම මහත්මීන් කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, විදුහල්පතිවරු, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරින් හා දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

t

o

p