ලංගම බස්වලට GPS උපකරණ සවි කිරීම කඩිනමින්

July 17, 2024

GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

මෙහිදී I3 CUBE ආයතනය හඳුන්වා දුන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින අඩුපාඩුව වන බො‍හෝ ලංගම බස් රථවල GPS උපකරණ සවි කර නොතිබීම සහ නිම්බස් ආයතනය මගින් බස්නාහිර පළාත් සභාවට හදුන්වා දී ඇති මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියේ කඩවත කේන්ද්‍ර කරගත් මාර්ග 12ක බස් රථ 135 ක් යොදාගෙන සිදු කරන ලද නියමු ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වීමත් සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

මේ පිළිබඳව අවධානය යොමු වූයේ බලශක්තිය හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී I3 CUBE ආයතනය පෙන්වා දුන්නේ ඔවුන් හඳුන්වා දී ඇති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දත්ත ලංගම බස් රථ වලින් නොලැබෙන බවයි. එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට, එක් මාර්ගයක් සඳහා‍ අවම වශයෙන් පවතින ප්‍රමාණයෙන් 70%ක පමණවත් දත්ත අවශ්‍ය වේ.‍‍

එසේම මෙහිදී නිම්බස් ආයතනය පෙන්වා දුන්නේ ඔවුන් සකස් කරන ලද පද්ධතිය මේ වන විට කඩවත කේන්ද්‍ර කර ගෙන පවතින මාර්ග 12 ක ධාවනය වන බස් රථ 135ක් සඳහා සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

මේ අනූව මෙම තාක්ෂණික ක්‍රම දෙක පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව කාරක සභාව පෙන්වා දුන්නේ මෙම ක්‍රමවේදයන් දෙකම ඉතා සාර්ථක නමුත් මේවා ක්‍රියාත්මක කිරීමේ ගැටළු නිරීක්ෂණය වන බවයි. මේ නිසා නිම්බස් ආයතනය හඳුන්වා දී ඇති තාක්ෂණික ක්‍රමවේදය ආදායම් උත්පාදන ක්‍රම ආදිය පිළිබඳව අවශ්‍ය පාර්ශව සමඟ සාකච්ඡා කොට කමිටුව දැනුවත් කිරීමට සහ ලංගම බස් රථ සඳහා‍ GPS සවි කිරීම කඩිනම් කොට I3 CUBE ආයතනය හඳුන්වා දී ඇති පද්ධතිය ක්‍රියාත්මක කිරීමටද කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

එසේම මේ පිළිබඳව අවශ්‍ය තීරණ ගැනීම සඳහා සති 3 ක් ඇතුළත මෙම කාරක සභාව නැවත රැස්වීමට තීරණය කෙරුණි.

මෙම රැස්වීම සඳහා රාජ්‍ය අමා‍ත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා, අ‍ශෝක් අබේසිංහ, උදයකාන්ත ගුණතිලක, නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත සහ කුමාරසිරි රත්නායක යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

t

o

p