දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

July 17, 2024

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024 – 2034 කාලය දක්වා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධිත) පනතින් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනත මඟින් රට තුළ දේශීය වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නීතිමය රාමුව සපයා තිබේ.

එහෙත් දේශීය වෛද්‍ය සේවාව සඳහා රජයේ ප්‍රතිපත්තිමය දිශානතිය මෙහෙයවන තනි ජාතික ප්‍රතිපත්තියක් මෙතෙක් සම්පාදනය වී නැත. වත්මන් සේවා සැපයීමේදී මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට සහ දේශීය වෛද්‍ය ක්‍රමය සංරක්ෂණය කිරීම තුළින් අනාගත පරම්පරාවට ගුණාත්මක හා ශක්තිමත් වෛද්‍ය ක්‍රමයක් තිළිණ කිරීම සඳහා ප්‍රධාන ධාරාවේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව පැනනැඟී ඇත.

ඒ අනුව, විද්වත් මණ්ඩලයක් මඟින් පුළුල් සහභාගිත්ව ක්‍රියාවලියක් හරහා සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024-2034 ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිව ඇත. මෙහිදී කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

අපේ රටේ හෙළ වෙදකම කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට පැවැත ආවා. පාරම්පරික වෛද්‍යවරු 20,000ක් පමණ දිවයින පුර සිටිනවා. ඔවුන්ට නිල පිළිගැනීමක් ලැබෙන ආකාරයේ ප්‍රතිපත්තියක් ලංකා ඉතිහාසයේ තිබුණේ නැහැ. සිද්ධ, යුනානි, ආයුර්වේද සියල්ල සමඟ පාරම්පරික වෛද්‍ය ක්‍රමයත් ඇතුළත් වන ලෙස විද්වත් කමිටුවක් විශාල කාලයක් ගත කරලා ඒ සියලු පාර්ශ්වයන්ගේ අදහස් අරගෙන කාලීන දීර්ඝ සාකච්ඡාවලින් සකස් කළ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024-2034 කාල පරිඡේදය තුළ රට තුළ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණා. මේ තුළින් පාරම්පරික වෛද්‍යවරුන්ට ඔවුන්ගේ මවුපියන් ආදි පුරාන වට්ටෝරු ක්‍රම ආදි සාම්ප්‍රදායිකව කරගෙන එන අත්දුටු, පත්‍යක්ෂ වෙදකම් සියල්ලට නිල පිළිගැනීමක් ඇති වන ආකාරයට ඒවා දේශීය හා බටහිර වෛද්‍ය සමඟ පර්යේෂණ හා අත්දැකීම් තුළ අපනයන වෙළෙඳපොළ දක්වා ගමන් කිරීමට හැකි වන ආකාරයට වඩාත් පුළුල් සියලු දෙනාගේ එකඟතාවයෙන් ඇතිවෙච්ච ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබුණා.

t

o

p