බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන ඇරඹේ

July 13, 2024

අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කර 1000ක පමණ වපසරියක් සහිත බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමිනි.

රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

බිංගිරිය ආයෝජන කලාපය සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසුව ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක් ලබාගත හැකි බවට ඇස්මේන්තු කර ඇති අතර රැකියා අවස්ථාවන් 75000 බිහිකිරීමට ද නියමිතය.

බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දැනට ඉදිකර තිබෙන ඩොංශියා ඉන්ඩස්ට්‍රියල් ලංකා ආයතනය (Dongxia Industrial & Commerce Co.Ltd.) විවෘත කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර එම ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණය චාරිකාවකට ද එක්වූ ජනාධිපතිවරයා එහි සේවක මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරත විය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ආයෝජකයින් සහ ව්‍යවසායකයින් අතර සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර මෙම අපනයන සැකසුම් කලාපයේ යටිතල පහසුකම් දියුණු කිරීමත් සමඟ බිංගිරිය, දුම්මලසූරිය, මාදම්පේ ප්‍රදේශ මහනගර මට්ටමට සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය .

කෘෂිකර්මය, නිෂ්පාදන කර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ සංචාරක මෙන්ම ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර 05 දියුණු කිරීම තුළින් බිංගිරිය මෙරට ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරිමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

ඩොංශියා සමාගම 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර රට බංකොලොත් වූ අවස්ථාවේ පවා අප ගැන විශ්වාසයක් තබාගෙන මෙහි රැඳී සිටිමින් මෙම නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. අද වන විට 400කට පමණ රැකියා අවස්ථා ලබාදීමට එම සමාගමට හැකි වී තිබෙනවා. මෙම කර්මාන්තශාලාව නිසා රටේ තරුණ තරුණියන්ට සුබ අනාගතයක් නිර්මාණය වී තිබෙනවා. අප රට තුළ තවත් මෙවැනි ආයෝජන කලාප ඇති කළ යුතුයි. බිංගිරිය ප්‍රදේශය ආයෝජන කලාපයක් ලෙස සංවර්ධනය කර සමස්ත ආර්ථිකය නංවාලීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා 2018 වසරේදී අප බිංගිරිය ආයෝජන කලාපය ආරම්භ කළා. අද තවත් අක්කර දහසක් මෙම කලාපයට එක් කිරීමට කටයුතු කළා.

අප සියලුදෙනා පසු කළේ ඉතා අසීරු කාලයක්. රටේ ආර්ථිකය කඩා වැටී තිබූ අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ධූරයක් තිබූ පක්ෂයකට ජනාධිපති ධූරය භාර ගැනීමට සිදු වණා.

ලෝකයේ මෙවැනි දෙයක් සිදුව නැහැ. අද වන විට ලංකාව බංකොලොත්භාවයෙන් නිදහස්ව තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා අපට ගෙවීමට තිබෙන සමස්ත ණය මුදලින් ඩොලර් බිලියන අටක සහනයක් ලැබී තිබෙනවා. ඒ වගේම සමස්ත ණය ගෙවීමේ කාලය 2043 වසර දක්වා දීර්ඝ කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව ආර්ථිකයට යම් හුස්මක් ලබා දීමට ආණ්ඩුවට හැකිවුණා.

මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන නොගියහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන්න පුළුවන්. අදත් අපේ ආනයන වියදම අපනයන වියදමට වඩා වැඩියි. මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් තව වසර පහළොවක් යන විට නැවත රට බංකොලොත් විය හැකියි. එම නිසා විදේශ ණය මුදල් ගැනීම පාලනය කරමින් නිසි ආර්ථික කළමනාකරණයක් ඉදිරියට පවත්වාගෙන යා යුතුයි. වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල් අපනයන ආර්ථිකයක් දක්වා ඉදිරියට ගියා. නමුත් ශ්‍රී ලංකාවට තවම එම ස්ථානයට යාමට නොහැකි වී තිබෙනවා.

එම නිසා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තිබෙන ගිවිසුම ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත යුතුයි. අද මේ විවෘත කරන කර්මාන්ත ශාලාව අපනයන ආර්ථිකයට හොඳ උදාහරණයක් වෙනවා. අපනයන ආර්ථිකය, නිෂ්පාදන අංශය, සංචාරක අංශය, තාක්ෂණ අංශය හා නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම කළ හැකියි. ඒ සඳහා මූලික පදනම ආණ්ඩුව විසින් මේ වන විටත් තබා තිබෙනවා. මෙම වැඩපිළිවෙල ආරක්ෂා කළහොත් හොඳ අනාගතයක් තිබෙනවා.

අපනයන ක්ෂේත්‍රය දියුණු කිරීම වෙනුවෙන් 2018 වසරේදී බිංගිරිය අපනයන කලාපය ඇති කිරීමට කටයුතු කළා. ඒ සමඟ කුලියාපිටිය, දුම්මල සූරිය, මාදම්පේ, බිංගිරිය හා හලාවත ප්‍රදේශ දියුණු කළ හැකියි. මේ සමස්ත ආයෝජන කලාපය දියුණු කිරීම තුළින් රැකියා අවස්ථාවන් 75,000ක් පමණක් බිහි කළ හැකියි. ඒ වගේම ඉරණවිල, බිංගිරිය , හලාවත සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමට ද නියමිතව තිබෙනවා. ඉරණවිල ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමටත් සැලසුම් කර තිබෙනවා. එසේම IT කලාපයක් ඇති කිරීමටත් අවධානය යොමුව තිබෙනවා. හලාවත වැවිලි සමාගමේ වතු යාය කෘෂි නවීකරණ වැඩසටහන සඳහා යොදා ගැනීමට ද අපේක්ෂා කරනවා.

මේ ආයෝජන කලාපයේ දියුණුවත් සමඟ නව නිවාස, නව නගරයක් ඇති වෙනවා. ඒ වගේම එම ප්‍රදේශයේ ජනතාවට නව ව්‍යාපාරික අවස්ථා රැසක් එමඟින් නිර්මාණය වෙනවා.

ඒ අනුව අප කෘෂිකර්මය, කර්මාන්ත, නිෂ්පාදන, තොරතුරු තාක්ෂණය සහ සංචාරක ව්‍යාපාරය වගේම ධීවර කර්මාන්තය දියුණු කිරීම තුළින් බිංගිරිය මෙරට ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සමඟ පන්නල, කුලියාපිටිය ප්‍රදේශත් විශාල දියුණුවක් ලබන අතර මෙම කටයුතු තුළින් අතීතයේ මාදම්පේ පැවති ශ්‍රී විභූතිය යළි ඇති කළ හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා.

මේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන්නේ රට දියුණු කිරීම සඳහායි. අප දැන් සිටින්නේ අසීරු කාලයක් පසුකර ක්‍රමිකව ගොඩනැඟෙමින් සිටින අවස්ථාවකයි. ජනතාවගේ නොවිසඳුන ප්‍රශ්න තවමත් තිබෙනවා. ඒ වෙනුවෙන් අප එක් ආර්ථික ක්‍රමයක් අනුව ඉදිරියට යා යුතුයි. එය සාර්ථක කර ගැනීමට නම් රට තුළ ආර්ථික පරිවර්තනයක් කළ යුතුයි. එම ආර්ථික පරිවර්තනයේ සුවිශේෂී ස්ථානයක් ලෙස බිංගිරිය හැඳින්විය හැකියි. බිංගිරිය සහ ඉරණවිල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අලුත් ආර්ථිකයක් ගොඩනඟමු. ඔබ සියලුදෙනා එහි කොටස්කරුවන් බව ප්‍රකාශ කළයුතුයි.

ආයෝජන ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා ලෙස 2018 වසරේ දී බිංගිරිය අපනයන වෙළඳ කලාපය බිහි කිරීමට කටයුතු කළා. අද එම කලාපයේ පළමු කර්මාන්ත ශාලාව විවෘත වන දිනයයි. ඒ වගේම එම කලාපයේ දෙවන සහ තෙවන අදියර සඳහා තවත් ඉඩම් අක්කර දහසක් ලබාදීම අද සිදු කළා. නව ආයෝජන කලාප බිහිකිරීම සඳහා ජනාධිපතිවරයා අපට උපදෙස් ලබා දී තිබෙනවා. ඉරණවිල, මාන්කුලම, කන්කසන්තුරේ ප්‍රදේශවල නව ආයෝජන කලාප ඇති කිරීම පිළිබඳව අප සොයා බලමින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා මේ වසර තුළ ආයෝජන ගිවිසුම් 35කට එළැඹීමට අපට හැකි වුණා. මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට ලබා දී තිබෙන රුපියල් බිලියනයක ආයෝජන ලබා ගැනීමේ ඉලක්කය මේ වන විට සම්පූර්ණ කිරීමට අමාත්‍යංශයට හැකි වී තිබෙනවා. මෙම සියලුම ආර්ථික සුභ පෙරනිමිති මඟින් ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායි වන බව කිව යුතුයි.

වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර , අශෝක ප්‍රියන්ත, ඩී.බී. හේරත් , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, සුමිත් උඩුකුඹුර, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , ආයෝජනය ප්‍රවර්ධනය අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.නයිමුදීන්, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ඩොංශියා ඉන්ඩස්ට්‍රියල් ලංකා ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ෂෝ වින්ග් යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් සිටියහ.

t

o

p