අධ්‍යාපනය සෞඛ්‍ය සේවා කඩාකප්පල් කිරීම වළකන අලුත් නීතියක්

July 10, 2024

සෞඛ්‍ය අධ්‍යාපනය වැනි මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට අදාළ වන සේවාවන් කඩ­ාකප්පල් කිරීම වැළැක්වීම සඳහා පොදු මහජනතාවගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වන නව නීතියක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

එසේ කිරීමට හේතු වන්නේ අසාධාරණ ඉල්ලීම් සිදු කරමින් වැඩවර්ජන ඇතුළු කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කරමින් රටේ නිරායුධ අවිහිංසක පාසල් දරුවෝ මෙන්ම රෝහල්වල ලක්ෂ සංඛ්‍යාත රෝගීන් මෙන්ම අනෙක් පොදු මහජන සේවාවන් ලබා ගන්න පිරිසක් පීඩාවට පත් නොකර ඔවුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් හා යුතුකමක් ලෙස ලංකා ආණ්ඩුව සලකන බැවින් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේත් ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වුණ අවස්ථාවේදී මේ දැවැන්ත වර්ජන රැල්ල පිළිබඳ විශාල වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

එහිදී ඉතා පැහැදිලිව සියලු කැබිනට් අමාත්‍යවරු පෙන්වා දුන්නා මේ රටේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමේ වියදම් දැරීමටවත් ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් නැතිව අය-වැය ලේඛනය මඟින් වඩාත් ඵලදායක ලෙසත් කාර්යක්ෂම ලෙසත් මුදල් වෙන් කරලා තිබෙන අවස්ථාවේදී ජනතාව මත තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ මේ වර්ෂයට පොදුවේ සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් ගෙවීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන පවා සලසා තිබෙන බව.

ඊට වඩා වැඩි මූල්‍ය ප්‍රමාණයක් සපයන්න කිසිම ක්‍රමවේදයක් ලංකා ආණ්ඩුවට නැහැ. මක් නිසාද යත් ඔවුන් ඉල්ලා සිටින පරිදි රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කරන්න නම් රුපියල් බිලියන හාරසීයක පමණ අතිරේක මුදලක් අවශ්‍ය වෙනවා.

මේ අතිරේක මුදලක් සපයා ගන්න නම් අඩුම තරමේ වැට් බද්ද තව සියයට විසි එක දක්වාවත් ඉහළ නංවන්න සිදු වෙනවා. මොකද සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් අස්වැසුම ඇතුළු සහනාධාර, පොලී වැනි පුනරාවර්ථන වියදම් දැරීමට ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් නැහැ.

බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් තමයි රාජ්‍ය සේවකයන් සියලු දෙනාට වැටුප් ගෙවන්නේ. තවදුරටත් මේ විශාල පීඩනයට පත් වෙලා තිබෙන ජනතාව මත බදු වැඩි කරන්න කිසිසේත් ආණ්ඩුවට පුළුවන්කමක් නැති බව ජනාධිපතිතුමා අවධාරණය කළා. මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ ලේකම්තුමාත් ඉතා පැහැදිලිව එවැනි වැටුප් වැඩි වීමක් ගෙවන්න මේ වර්ෂය තුළදී මූල්‍ය ප්‍රතිපාදන නැති බව පැහැදිලි කළා.

වර්ජන හේතුවෙන් පාසල් වැසී යෑමෙන් අද විශාල දරු පිරිසකට පාසල් අධ්‍යාපනයේ අයිතිය අහිමිව තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ පොදු සේවා පවත්වාගෙන යෑම සඳහා තිබෙන වගකීමට විශාල වශයෙන් තර්ජන ගර්ජන එල්ල වනවා. දේශපාලන උවමනාවන් මත කරන වැඩවර්ජන කරණකොටගෙන ඔවුන්ට සිද්ධවෙන අයහපත් සියල්ල බරපතළ ලෙස සැලකිල්ලට ගත්ත කැබිනට් මණ්ඩලය අධ්‍යාපනය සෞඛ්‍ය වැනි මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට අදාළ වන සේවාවන් කඩකප්පල් කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය වෙන නව නීතියක් සම්පාදනය කරලා පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ගැනීම සඳහා තිබෙන ඉඩ කඩ පිළිබඳ හා කරුණු අධ්‍යයනය කිරීම සඳහා නීති කටයුතු පිළිබඳ විෂය පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට බලය පවරනු ලැබුවා.

ඒ වගේම ජනාධිපතිතුමා සඳහන් කළා මෙවැනි දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීම වැනි පොදු සේවාවන් ලබා ගැනීමට අවහිර කරන කඩාකප්පල් කරන අයට විරුද්ධව යම්කිසි නීතිමය වශයෙන් පිළිසරණක් ලබා ගැනීමට නීති කෙටුම්පත් සකස් කිරීම සඳහා හැකියාව තිබෙන බව නීතිපතිතුමා විසිනුත් කරුණු දක්වලා තිබෙන බව.

ඒ නිසා අනාගත කාලපරිච්ඡේදය තුළදී මේ කිසිසේත් ඉටු කළ නොහැකි ඉල්ලීම්, මහජනතාවට අසාමාන්‍ය බරක් පටවලා තවදුරටත් කරන්න බැරි දෙයක් ඉල්ලා සිටියාට එය කළ නොහැකි නිසා එවැනි දේ තුළින් නිරායුධ අවිහිංසක පාසල් දරුවෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රෝහල්වල රෝගීන් හා අනෙක් පොදු මහජන සේවාවන් ලබා ගන්න පිරිසක් පීඩාවට පත් කරන්නේ නැතිව ඔවුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් හා යුතුකමක් ලෙස ලංකා ආණ්ඩුව සලකනවා. ඒ නිසා දරුවන්ගේ මේ රටේ පොදු සේවා ලබා ගන්නා අනෙකුත් පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂාව සලසන්න අවශ්‍ය නීති අනාගතයේදී සම්පාදනය කෙරෙනවා ඇත.

t

o

p