පිරිවෙන් අධ්‍යාපනයට ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

June 27, 2024

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙරට ඇති පිරිවෙන් 825ක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක්, ස්මාට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු සුහුරු පන්ති කාමර ලබාදීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙම පිරිවෙන් තුළ ගිහි, පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරන බව පැවැසූ ඒ මහතා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව එම ව්‍යාපෘතිය සැලසුම් කරන බව අවධාරණය කළේය.

එමඟින් පිරිවෙන් ආශ්‍රිත ගුරුවරුන්ට හා පැවිදි ගිහි ශිෂ්‍යයන්ට ශ්‍රී ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේෂණයට හා විශ්ලේෂණයට ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගැනීමට හැකිවනු ඇති බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

තාක්ෂණ ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමැතිවරයා පැවැසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

මෙම යෝජනාව පොසොන් සතිය තුළදී ඉදිරිපත් වීම විශේෂත්වයක්. අවුරුදු දහස් ගණනකට පෙර මහින්දාගමනයෙන් පසු මේ රටේ ජාතියේ හැරවුම් ලක්ෂ්‍යය තීරණය වූ අතර සභ්‍යත්වය, ශිෂ්ටාචාරය සහ අධ්‍යපානය මහින්දාගමනයත් සමඟ තමයි සංවර්ධනය වුණේ. මහා විහාරයත් අභයගිරියත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ආයතන දෙකක් ලෙස ක්‍රියාත්මක වූ බව පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබේ. ලාංකීය අධ්‍යාපනය පිරිවෙන් අධ්‍යාපනය මත පදනම් වෙලා තිබුණ අතර අධ්‍යයතන යුගය දක්වා පරම්පරාවෙන් පරම්පරාවට පිරිවෙන් පැවැතිලා තිබේ. ඒ අනුව දැනට මහ පිරිවෙන්, මූලික පිරිවෙන් සහ විද්‍යායතන පිරිවෙන් යනුවෙන් පිරිවෙන් වර්ග තුනක් තිබේ. පිරිවෙන් 825ක් පමණ ලංකාවේ පිහිටලා තිබෙන අතර ගිහි පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට තරමක් වැඩි ප්‍රමාණයක් ඉගෙනුම ලබයි. ඒ වගේම පාසල් 1200ක් පමණ දියුණු ඩිජිටල් තාක්ෂණය යටතේ චීන ආධාර යටතේ සංවර්ධනය කරන ව්‍යාපෘතියක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමඟ එක්ව දැනට ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ.

t

o

p