ශ්‍රී ලංකාවේ තේ ලෝකයේ පුද්ගලයන් 50 දෙනකුගෙන් එක් අයකු පානය කරන බවට අනාවරණයක්

June 7, 2024

ශ්‍රී ලංකා තේ සන්නාමය යටතේ අපනයනය කරන තේවලින් ලෝකයේ දිනකට තේ කෝප්ප මිලියන 400 ක් පානය සඳහා සකස් කෙරෙන බව අනාවරණය වේ.

ජාත්‍යන්තර තේ දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් කොළඹදී සංවිධානය කර තිබූ උත්සවයේදී මෙම තොරතුරු හෙළිදරව් විය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර,වැවිලි කර්මාන්ත හා මහවැලි රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ,තාක්ෂණ රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ ලෙස සහභාගි වූහ. ශ්‍රී ලංකා තේ කිලෝ මිලියනයක් දිනකට අපනයනය කෙරෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්.එස්.අනුරුද්ධ පැවසීය.

එක් තේ කෝප්පයක් සඳහා දළ වශයෙන් ග්‍රෑම් දෙකක තේ කුඩු ප්‍රමාණයක් භාවිත කෙරෙන බවත්,ලෝකයේ පුද්ගලයන් 50 දෙනකුගෙන් එක් අයකු දළ වශයෙන් ශ්‍රී ලංකා තේ පානය කරන බවත් ඔහු පැවසීය. මෙරට භූ විෂමතාව, පාරිසරික සාධක අනුව රස හතකින් තේ නිෂ්පාදනය කෙරේ. තේ අපනයනය කිරීමෙන් ලංකාව වාර්ෂිකව උපයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක් වේ. මෙරට තේ වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 267,000 කි. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් කියා සිටියේ තේ කර්මාන්තය ආශ්‍රිතව මිලියන දෙකක පමණ පිරිසක් රැකියාවේ නිරතව සිටින බවය. එය රටේ ජනගහනයෙන් සියයට 10 ක් බවත් ඔහු පැවසීය.

t

o

p