වෙසක් පුන් පොහෝ දින පණිවිඩ

May 23, 2024

ආමි­ස­යට වඩා ප්‍රති­පත්ති පූජා­වට මූලි­ක­ත්වය දී සම්බුදු තෙම­ඟුල සම­රන්න

  • මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහිමි

ආමි­ස­යට වඩා ප්‍රති­පත්ති පූජා­වට මූලි­ක­ත්වය දී සම්බුදු තෙම­ඟුල සම­රන ලෙස ශ්‍රී ලංකා­වාසී බෞද්ධ ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහි­මියෝ පව­සති. ආර්ථික අර්බු­දය හේතු­වෙන් ශ්‍රී ලංකා­වාසී ජන­තාව ඉතා අසීරු කාල­ව­ක­වා­නු­වක් පසු­ක­ර­මින් පැමිණ තිබෙන බැවින් බෞද්ධ ජන­තාව ආමිස පූජා­වන් සඳහා අනර්ථ ලෙස මුදල් විය­දම් කිරී­මෙන් බැහැ­ර­වීම වැද­ග­ත්යැයි ද උන්ව­හන්සේ කීහ.

මෙවර වෙසක් සැම­රුම සම්බ­න්ධ­යෙන් මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් අනු­නා­යක හිමියෝ මෙසේ ද පැවැ­සූහ. ශ්‍රී ලංකා­වාසී බෞද්ධ, අබෞද්ධ සියලු ජන­තාව යහ­පත් දේ හැකි ආකා­ර­යට අනු­ග­ම­නය කර­මින් වෙසක් සමය සැම­රී­මට අධි­ෂ්ඨාන කර­ගත යුතුයි. එහිදී ප්‍රති­පත්ති හා ආමිස ලෙස පූජා විධි දෙකක් අනු­ග­ම­නය කළ හැකි වුවත් වඩාත් වැද­ගත් වන්නේ ප්‍රති­පත්ති පූජා­වයි.ශීල භාව­නාව, පන්සිල්,අට­සිල් හා දස­සිල් සමා­දන්ව ශීලය රැක­ගෙන වෙසක් දිනය සැම­රීම තමයි වඩා වැද­ගත්. ඒ අත­ර­තුර ආමිස පූජාව පිළි­බ­ඳ­වත් අපි අව­ධා­නය යොමු කළ යුතුයි. දන්පැන් පූජා කිරීම, දන්සල් පැවැ­ත්වීම, දුගී මගී යාච­කා­දීන්ට සැල­කීම වගේ දේවල් සිදු කිරීම වැද­ගත්. මේ කාල පරා­සයේ අප ගත කරන ජීවි­තය ඉතා­මත් අමාරු එකක්. ආර්ථික අතින් අමාරු කාල­යක් ගත කරන නිසා කෑම­බීම මිලට ගැනීම සම්බ­න්ධ­යෙන් පවා ගැටලු මතු­වෙ­නවා. එවැනි පසු­බි­මක විශාල තොරණ ප්‍රද­ර්ශ­නය කිරීම, දහස් ගණන් සංඝ­ර­ත්න­යට දන්පැන් පිළි­ගැ­න්වීම එත­රම් උචිත නොවන බව සිහි­පත් කළ යුතුයි.

ආර්ථික අතින් විශාල ගැට­ලු­ව­ලට මුහු­ණ­දී­මට සිදුව තිබෙන අව­ස්ථා­වක මුදල් විය­දම් කිරීම අනර්ථ ලෙස නොකළ යුතුයි. සෑම දෙයක්ම සැල­කි­ල්ලෙන්, සක­සු­රු­ව­මින් කිරීම වැද­ගත්. බණ භාවනා කට­යුතු සඳහා යොමු­වීම තමයි වැද­ගත්.ධර්ම සාකච්ඡා,ධර්ම දේශනා ප්‍රධාන විය යුතුයි. සිදු­හත් කුමාර උප්ප­ත්තිය, සම්බු­ද්ධ­ත්වය හා පරි­නි­ර්වා­ණය තෙම­ඟුල සිහි­පත් කරන මේ වකා­ව­නුවේ සියලු දෙනාගේ ක්‍රියා­ක­ලා­පය යහ­පත් විය යුතුයි. මත්ද්‍රව්‍ය භාවි­තය අද විශාල සමාජ ප්‍රශ්න­යක් බවට පත්වෙලා. මේ නිසා ගැටුම් ඇති­වී­මත් ඉහළ ගිහින්. මේවා තේරු­ම්ගෙන වෙසක් සමය ගත කිරීම ඉතාම වැද­ගත්. බුදු න් වහ­න්සේගේ තෙම­ඟුල සිහි­පත් කරන මේ අව­ස්ථාවේ අපේ චරිත සංව­ර්ධ­නය කර ගනි­මින් අන් අය­ටත් ඒ සඳහා රුකු­ල්දීම වැද­ගත් බව සිහි­පත් කරන්න කැම­තියි.

බුද්ධ චරි­තයේ ඉගැ­න්වෙන මෛත්‍රි කරුණා ගුණ­දහම් ජීවි­ත­යට එක් කරගනිමු

  • අස්ගිරි පාර්ශ්වයේ අනු­නා­යක වේඬ­රුවේ උපාලි නාහිමි

බෝසත් චරි­ත­යේත්, බුද්ධ චරි­ත­යේත් ඉගැ­න්වෙන මෛත්‍රි, කරුණා, මුදිතා, උපේක්ෂා වැනි උතුම් ගුණ­ධර්ම හැකි­තාක් ජීවි­ත­ව­ලට සම්බන්ධ කර ගැනී­මට මේ වෙසක් සමයේ අප අධි­ෂ්ඨාන කර­ගත යුතු යැයි අස්ගිරි පාර්ශ්වයේ අනු­නා­යක,පොලො­න්න­රුව සොළො­ස්ම­ස්ථා­නා­ධි­පති වේඬ­රුවේ උපාලි නාහි­මියෝ පව­සති.

සම්බුදු තෙම­ඟුල සම­රන මේ පින්වත් දින­වල බුදු­ගුණ වඩ­මින්, ප්‍රති­පත්ති පුර­මින් තම තමන්ගේ ජීවිත අර්ථ­වත් කර ගැනී­මට අධි­ෂ්ඨාන කර ගැනීම ඉතාම වැද­ගත් යැයි උන්ව­හන්සේ කීහ.

මෙවර වෙසක් උත්ස­වය නිමි­ත්තෙන් මාධ්‍ය වෙත පණි­වි­ඩ­යක් ලබා දෙමින් අනු­නා­හි­මියෝ මෙසේ ද පැවැ­සූහ. වත්මන් මිනිසා නිත­රම බලන්නේ බාහිර දියු­ණුව හා බාහිර අලං­කා­රය ගැනයි. ඒ ගැන හිතු­වා­ටම ප්‍රමා­ණ­වත් මදි. අපි ඊට වඩා ගැඹු­රට අපේ ජීවිත ගැන සිතිය යුතුයි. බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ අනු­ශා­ස­නාවේ දැක්වෙන්නේ මිනිස් සිත දියුණු කර ගැනීම සම්බ­න්ධ­වයි. ඒ නිසා අපි කවු­රුත් අපේ සිත් දියුණු කර ගැනී­මට අධි­ෂ්ඨාන කර ගැනීම මේ වෙසක් දින­වල අපේ පර­මා­ර්ථය කර­ගත යුතුයි.

අතී­තයේ ජීවත් වූ මිනිසා තමන්ගේ සිත දූෂ්‍ය නොක­ර­ගෙන ඉතා ප්‍රභා­ෂ්ව­රව පවත්වා ගත්තා. ඒ නිසා තමයි එදා මිනිස්සු සතු­ටින් වගේම නිරෝ­ගීව ජීවත් වුණේ. අපේ දෙද­හස් පන්සිය වස­රක ප්‍රෞඪ ඉති­හා­සය තුළ උගන්වා තිබෙන්නේ මිනි­සාගේ සිත දියණු කර ගැනීම ගැනයි. ඇත්ත වශ­යෙන්ම සෑම දෙය­ක­ටම වැද­ගත් වන්නේ මිනි­ස­ත්ක­මයි. මිනි­ස්කම නැති තැන බිහි වන්නේ යකඩ මිනිස්සු. ඒ නිසා සෑම දෙය­ක­ටම කලින් මේ රටේ නැවත මනු­ස්ස­කම අපි ගොඩ­නැ­ඟිය යුතුයි. පාස­ල­කින් අපි බලා­පො­රොත්තු වන්නේ බෝසත් දරු­වෙක්. නමුත් අපට දැනෙ­නවා වගේම පෙනෙ­නවා මේ අධ්‍යා­පන ක්‍රම­යෙන් බෝසත් දරු­වන් වෙනු­වට බිහි­වන්නේ යකඩ දරු­වන් බව. පාස­ලක් ඇරෙන විට සිර ගෙවල් දහ­සක් වැසෙ­නවා කියා කිය­ම­නක් තිබෙ­නවා. මේ අධ්‍යා­පන ක්‍රමය,මේ වැඩ­පි­ළි­වෙළ, මේ තාක්ෂ­ණය එක්ක යන ගම­නත් එක්ක එක පාස­ලක් ඇරෙන විට හිර ගෙවල් දෙකක් හදන්න වෙන මට්ට­මක් අනා­ග­තයේ ඇති­වෙන්න පුළු­වන්.බෝසත් සමා­ජ­යක් හැදී­මට මේ වෙසක් දිනයේ අපි සියලු දෙනා අධි­ෂ්ඨාන කර ගැනීම වැද­ගත්.

වෙසක් කියා බලන විට අද අපට පෙනෙන්නේ රට, ලෝකය, ගේදොර, පන්සල, මහ­මඟ එදාට අලං­කා­ර­වත් වන බවයි. නග­රය, ගේදොර, වෙහෙර විහාර විදුලි ආලෝ­ක­යෙන් අලං­කාර වුණත් මිනි­සාගේ සිත අලං­කාර නොවු­ණොත් මිනි­සාට එළි­යක් වැටෙන්නේ නැහැ. මිනිසා මෝහය නමැති අන්ධ­කා­රයේ ගිලී සිටින බවක් පේනවා.වෙසක් දින ආමිස පූජා­වෙන් රට­තොට ආලෝක ගන්ව­නවා වගේම තම තමන්ගේ ජීවිත ආලෝ­ක­වත් කර ගැනී­මට සෑම දෙනාම අධි­ෂ්ඨාන කර­ගත යුතුයි. අපි සම­රන වෙසක් සහ නර­ඹන වෙසක් තමයි අද තිබෙන්නේ. සම්මා සම්බුදු පද­විය ලැබුවේ වෙසක් පුන් පොහෝ දින­ය­කයි. ඒ දිනයේ දී තමයි උන්ව­හන්සේ සත්‍යය සොයා ගත්තේ. ඒ අනුව වෙසක් කියලා කියන්නේ මිනිසා ජීවි­තයේ යථා­ර්ථය සොයන දිනය විය යුතුයි. බුදු­ර­ජා­ණන් වහන්සේ පිරි­නි­ව­න්පෑවේ වෙසක් පුන් පොහෝ දින­ය­කයි. අනි­ත්‍ය­තාව පිළි­බඳ පණි­වි­ඩය බුදු­ර­ජා­ණන් වහන්සේ ඒ දිනයේ ප්‍රකාශ කළා. වෙසක් පෝය කියන්නේ අනිත්‍ය රජ කරන දින­යයි. ආමිස හා ප්‍රති­පත්ති පූජා­වෙන් තම තමන්ගේ ජීවිත අර්ථ­වත් කර ගැනී­මට මේ උතුම් වෙසක් පොහෝ දින අපි සියලු දෙනා අධි­ෂ්ඨාන කර­ග­නිමු.

ආධ්‍යා­ත්මික ආචා­ර­ශීලි මිනි­සකු නිර්මා­ණය කිරී­මට උතුම් වෙසඟේ අදි­ටන් කරගනිමු

  • ජනා­ධිපති රනිල් වික්‍රමසිංහ

වෛශාඛ්‍ය මංග­ල්‍යය යනු සම්බුදු රජා­ණන් වහ­න්සේගේ උප්ප­ත්තිය,සම්බු­ද්ධ­ත්වය සහ පරි­නි­ර්වා­ණය අනු­ස්ම­ර­ණය කරන ලෝක බෞද්ධ ජන­තා­වගේ පූජ­නීය දින­යකි.ආමිස පූජා මෙන්ම ප්‍රති­පත්ති පූජා­වන්ට මුලි­ක­ත්වය දෙමින් ශ්‍රී ලාංකේය ජන­තාව මෙන්ම දෙස් විදෙස් බෞද්ධ සිව් වනක් පිරිස ඉතා බැති­යෙන් වෛශාඛ්‍ය මංග­ල්‍යය සම­රන්නේ සම්බුද්ධ පූජා­වක් ලෙස සල­ක­මිනි.

බුද්ධ­ත්වය උදෙසා බුදුන් වහ­න්සේට තිබූ සම්මා වීර්යය,අප සැවොම මේ අසීරු මොහොතේ රටක් ලෙස ඇති කර­ගත යුත්තේ ‘යහ­පත් හෙට දිනක් වෙනු­වෙන් අද දවස කැප කිරී­මට “මත්තා­සුඛ පරි­ච්චගා – පස්සෙ චෙ විපුලං සුඛං” ලෙස කර ඇති බුද්ධ දේශ­නාව පද­නම් කර­ගෙ­නය.

“සබ්බත්ථ සම්මා­නසො” සිය­ල්ලන්ට සමා­නව සැල­කීමේ සමා­නා­ත්මතා සම්බු­ද්ධෝ­ප­දේ­ශ­නය අද දින අප සිහි කළ යුතු­වාක් මෙන්ම රටක් ලෙස එය ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කිරී­මට වග බලා ගැනීම ද මේ වෙසක් දා බුදුන් උදෙසා පිදිය හැකි මහඟු බුද්ධ පූජාව වන්නේය.

ජාති, ආගම්, කුල භේද මෙන්ම පක්ෂ පාට නොතකා එකා­වන්ව එක්ව,ගොඩ­න­ඟ­මින් ඇති රට සුව­පත් කරන්න අප සැවොම පෙළ ගැසිය යුතුය.ලිච්ඡවි රාජ ධර්මය ඒ සඳහා අපට මඟ පෙන්වනු ඇත.

ශීඝ්‍ර ලෙස භෞති­කව සංව­ර්ධ­නය කරා පිය මනින ලෝකයේ ආක­ල්ප­මය සංව­ර්ධ­න­ය­කින් යුත් ආධ්‍යා­ත්මික ආචා­ර­ශීලි ‘මිනි­සකු‘ නිර්මා­ණය කර ගැනී­මට මේ වෛශාඛ්‍ය මංග­ල්‍යයේ ඇති කර ගත යුතු ප්‍රමු­ඛ­තම අර­මුණ බව සිහි­පත් කර­මින් සැමට පින්බර වෙසක් මංග­ල්‍ය­ය­කට ශුභා­ශිං­සන එක් කරමි.

වෙසක් උත්ස­වය කියන්නේ විනෝද සැණ­කෙ­ළි­යක් නොවේ

  • අට­ම­ස්ථා­නා­ධි­පති පල්ලේ­ගම හේම­ර­තන නාහිමි

දාන, සීල, භාවනා ඇතුළු ප්‍රති­පත්ති පූජා­වන්ට මුල් තැන දෙමින් පින් සිත් පුබු­දුවා ගන්නා ලෙස අනු­රා­ධ­පු­ර­යට පැමි­ණෙන සැදැ­හැ­ව­තු­න්ගෙන් ඉල්ලා සිටින බව අට­ම­ස්ථා­නා­ධි­පති පල්ලේ­ගම හේම­ර­තන නාහි­මියෝ සඳ­හන් කළහ.

වෙසක් පොහොයේ ඇති වටි­නා­කම් කිලිටි නොකොර සිද්ධ­ස්ථාන වැඳ පුදා­ගෙන පින් සිත් පුබු­දුවා ගන්නා ලෙස සැදැ­හැ­ව­තු­න්ගෙන් කාරු­ණි­කව ඉල්ලා සිටින බව ද උන්ව­හන්සේ සඳ­හන් කළහ.

දාන, සීල, භාවනා මෙන්ම ප්‍රති­පත්ති පූජා­වන්ට මූලි­ක­ත්වය දෙමින් පූජා නග­රයේ වෙහෙර විහා­ර­ස්ථා­න­වල ආග­මික වතා­වත් සිදු කෙරෙන අතර වෙසක් පොහොය දිනද ආමිස පූජා බහුල වශ­යෙන් සිදු කෙරෙන බැවින් එම පූජා වෙසක් පොහොයේ මූලික අර­මු­ණු­ව­ලින් බැහැ­රව සිදු නොක­රන ලෙසත් මෙය පුණ්‍ය උත්ස­ව­යක් මිසක විනෝද සැණ­කෙ­ළි­යක් නොවන බවද නාහි­මියෝ වැඩි­දු­ර­ටත් පැව­සූහ.

වසර ගණ­න­කට පසු අප මේ සම­රන්නේ පූර්ණ වෙසක් උත්ස­ව­යක්

  • අග­්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ස්වාභා­වික ව්‍යසන හා ආර්ථික අර්බුද හමුවේ අඩ­ප­ණව තිබී වසර ගණ­නා­ව­කට පසුව පූර්ණ වෙසක් උත්ස­ව­යක් සැම­රීමේ අව­ස්ථාව මෙවර ශ්‍රී ලාංකික අපට උදා වී ඇතැයි අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා පව­සයි. වෙසක් පොහෝ දිනය වෙනු­වෙන් පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් අග­මැ­ති­ව­රයා එසේ සඳ­හන් කරයි.

යළිත් උතුම් බුද්ධ දර්ශ­නයේ මඟ පසක් කර­මින් මේ වෙසඟේ ආමිස, ප්‍රති­පත්ති පූජා කර­මින් මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහ­රණ පෙර­දැරි කර­ගත් සමා­ජ­යක කට­යුතු කරමු යැයිද නිවේ­ද­නයේ සඳ­හන් වේ.

අග­මැ­ති­ව­රයා නිකුත් කළ නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් මෙසේද දැක්වේ.

බුදුන් වහ­න්සේගේ උප්ප­ත්තිය, බුද්ධ­ත්වය හා පරි­නි­ර්වා­ණය සම­රන වෙසක් පොහෝ දිනය බෞද්ධ ජන­යාගේ පරම පූජ­නීය දින­යයි. අනා­දි­මත් කාල­යක සිට ලක්වැ­සියා එය බුද්ධා­ල­ම්බන ප්‍රීති­යෙන් යුතුව මහත් හර­ස­රින් සම­රයි.

ලෝක ස්වභා­වය දිනෙන් දින වෙනස් වේ. වර්ත­මා­නය වන විට, ලොව ජීවන රටාවේ අප සිතූ මාර්ග කඩා වැටෙ­මින් තිබේ. මේ නිසා ලෝක­වාසී ජනයා ජීවිත ස්වභා­වය අව­බෝධ කර­වන බුදු දහමේ මඟ අනු­ග­ම­නය කිරීම හරහා බුදු දහමේ හරය සොයා යමින් සිටී. බුදු දහමේ ඉගැ­න්වෙන මැදුම් පිළි­වෙත එකී ධර්ම මාර්ග­යයි.

සර්ව කාලීන දර්ශ­න­යක් වන එකී මැදුම් පිළි­වෙත වෙන­දා­ටත් වඩා වත්මන් අධ්‍ය­ය­තන සමා­ජ­යට මඟ පෙන්වනු ඇත. අද ලොව කතා කරන ආර්ථික පිළි­වෙ­ත­කට, ආර්ථික සංව­ර්ධ­න­ය­කට මැදුම් පිළි­වෙත අනු­ග­ම­නය කිරීම වඩාත් අර්ථ­වත් වේ. මැදුම් පිළි­වෙත සදා ශාන්තිය ගෙන දෙන පිළි­වෙත් මඟකි.

වෙසක් සැර­සිලි ජීවි­තයේ අනි­ත්‍ය­තාව පසක් කරන ගැඹුරු මාන­සික අභ්‍යා­ස­යකි. ජීවි­තය සම­බර නොවීම විනා­ශ­යට මඟ පාදන බව දරු­වන්ට අත්දැ­කී­මෙන් අව­බෝධ කර ගැනී­මට එය මඟ පාදයි. එබැ­වින් අත්දැ­කී­ම්ව­ලින් ජිවි­තය අව­බෝධ කර­වී­ම­ටත්, වෙසක් කලාව නොනැසී පවත්වා ගැනී­ම­ටත්, වෙසක් සැර­සි­ලි­වල යෙදී­මට දරු­වන් යොමු කර­වීම වැඩි­හිටි සැමගේ යුතු­ක­මයි.

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුව­පත් වෙත්වා!

t

o

p