වෙසක් සතිය අද 21 සිට 27 වැනිදා දක්වා

May 21, 2024

මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික වෙසක් සතිය අදින් (21) ඇරඹේ.

හෙට සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශිත අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික වෙසක් සතිය නිමිත්තෙන් සමාරම්ක උත්සවය අද (21) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම 23 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද වෙසක් සතිය නිමිත්තෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන ජාතික මහෝත්සවයට එක්වීමට නියමිතය.

ඒ අනුව මෙම 23 වැනි දින රාජ්‍ය උත්සවය පෙරවරු 9.30ට මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප්‍රමුඛ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම වැඩසටහනේදී පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය ද සිදුවේ. විදේශ දූත පිරිස් විසින් තිළිණ ප්‍රදානයක් ද මෙහිදී සිදු කෙරේ.

රාජ්‍ය වෙසක් උත්සව වැඩසටහන අද (21) පස්වරු 2.00ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. වෙසක් සමරු මුද්දරයක් නිකුත් කිරීම, විහාරස්ථාන සංවර්ධන ආධාර ප්‍රදානය, බුද්ධශාසන අරමුදලේ ආධාර ප්‍රදානය, දහම් පාසල් ප්‍රතිපාදන ලිපි ප්‍රදානය, සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සංකේතාත්මක පොත් කට්ටල ප්‍රදානය, බුදුපුත් මාපිය උපහාර චෙක්පත් ප්‍රදානය මෙහිදී සිදු කෙරේ.

මෙම අවස්ථාවන් සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මැති ඇමැතිවරු සහභාගි වෙති.

t

o

p