නැවත දැනුම්දෙන තුරු ධීවර කටයුතු සඳහා යොමුවීමෙන් වළකින්න

May 19, 2024

අද දහවල් 12.00න් පසු නැවත දැනුම්දෙන තුරු කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා යොමුවීමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මුහුදු ආශ්‍රිත පවතින කාලගුණ විපර්යාස සැලකිල්ලට ගනිමින් එම දැනුම්දීම සිදුකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේය.

මේ අතර ගතවූ පැය 24 තුළ මිලිමීටර් 212.5ක වැඩිම වර්ෂාපතනය වාර්තාවුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි.

ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ සෑම පළාතකටම දැඩි වැසි ඇදහැලෙමින් පවතී.

බස්නාහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇදහැලුණු අතර සබරගමුව, දකුණු, මධ්‍යම හා උතුර පළාත්වලට මිලිමීටර 100 ඉක්මවා වැසි ඇදහැලුණි.

උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටද මේ වන විට වැසි ඇද හැලෙමින් පවතින අතර අධික වර්ෂාවත් සමඟ රාජාංගණය, අංගමුව සහ උල්හිටිය යන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට ඊයේ (18) පස්වරුවේ පියවර ගැනුණි.

මේ අතර බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ දිවයිනේ පළාත් රැසකට දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර පවතින වැසි තත්ත්වය අඟහරුවාදායින් පසුව අඩුවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

t

o

p