අනවසර දැව ජාවාරමක නිරත වූ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට

May 8, 2024

කිළිනොච්චියේ කල්මඩු රක්ෂිත වනය විනාශ කරමින් අනවසර දැව ජාවාරමක නිරත වූ පුද්ගලයන් පස් දෙනකු කිළිනොච්චිය රාමනාතපුරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් සමඟ දැව පටවන ලද ට්‍රැක්ටර් දෙකක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර, දැව කැපීම සඳහා භාවිත කළ උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. කාලාන්තරයක් තිස්සේ දැව හොරුන් කල්මඩු රක්ෂිත වනය විනාශ කරමින් දැව කොල්ලයේ නිරත වන නමුත් කල්මඩු රක්ෂිතයේ ඇති විශාලත්වයත්, නිලධාරීන්ගේ හිඟයත් හේතුවෙන් මෙම නීති විරෝධී දැව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම පොලිසියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රශ්නයක් වී තිබේ.

රාමනාතපුරම් පොලිසියට ලැබුණු තොරතුරක් මත එහි ගිය නිලධාරීන් පිරිසක් මෙම දැව හොරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, සැකකරුවන් හා දැව තොගය කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රාමනාතපුරම් පොලිසිය පියවර ගත්තේය.

t

o

p