ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි

May 3, 2024

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අදට (03) යෙදී තිබේ.

1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර එයින් අනතුරුව 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ලෝක නිදහස් මාධ්‍ය දිනය ලෙස මැයි මස 03 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මාධ්‍ය වෙත එල්ල වී ඇති අභියෝග, බලපෑම් සහ ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීම මෙම දිනය නම් කිරීමේ අරමුණ වන බව සඳහන්.

එතැන් සිට ලෝකයේ එක් එක් රටවල් මෙම දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කරන අතර විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වැනි වගන්තියට අනුව මිනිසාට තොරතුරු ලබා ගැනීමට, තොරතුරු ප්‍රකාශ කිරීමට ඇති මානව හිමිකම යන අදහස ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය සමරන්නේ 31 වන වරටයි.

1986 වසරේ දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගිලෙමො කානෝ අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ දිනය වෙන්කර ඇත.

ඉකුත් දස වසර තුළ ලොව පුරා මාධ්‍යවේදීන් 929 දෙනකු ඝාතනය කර ඇති බවට වාර්තා වන අතර මාධ්‍යවේදීන්ට අනතුරුදායකම රට ඉරාකය වේ. දෙවැන්න සිරියාවයි.

රටවල් 180ක් ඇසුරින් සැකසෙන ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ පළමු තැන පසුගිය වසරේ දී හිමිවූයේ නොර්වේ රාජ්‍යයටයි.

2022 වසරේ දී ශ්‍රී ලංකාවට හිමිවූයේ ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ 146 වැනි ස්ථානයයි.

t

o

p