ශ්‍රී ලංකාවට පැමිණීමේ වීසා ලබාදීම විදේශ සමාගමකට පවරා නෑ – ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය

April 19, 2024

මෙරටට පැමිණීමට වීසා ලබාදීමේ හැකියාව විදෙස් සමාගමකට පවරා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවත් එවැනි කිසිදු වීසා ලබාදීමේ බලය පැවරීමක් දෙපාර්තමේන්තුව සිදු කර නොමැති බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ඊයේ (18) පැවැසීය. මෙහිදී කිසිදු විටක වීසා දීමට අදාළ සමාගමට බලය පැවරීමක් සිදු කර නොමැති බවත් වීසා අනුමත කිරීමේ කාර්ය සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබන්නේ දෙපාර්තමේන්තුව බවත් ඔහු පැවැසීය. 

මෙම නව වීසා ක්‍රමවේදය හේතුවෙන් කිසිදු නීතියක් උල්ලංඝනය නොවන බවත් වීසා ලබා ගැනීමේ ක්‍රමවේදය සරල කිරීම සඳහා පමණක් අදාළ සමාගම සම්බන්ධ කර ගත් බවත් ඔහු සඳහන් කළේය. මෙහිදී සිදු කරනු ලබන්නේ මෙම සමාගම සතුව පවතින දැනුම හා තාක්ෂණය ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබා ගෙන මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය. 

අදාළ විදෙස් සමාගම සමඟ මේ වනවිට විධිමත් ගිවිසුමක් අස්සන් කර ඇති බවත් එම කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ ප්‍රවෘත්ති සාකාච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය. 
ඒ අනුව අදාළ සමාගමට මෙරට වීසා ලබා ගැනීමේ ක්‍රමවේදයට සම්බන්ධ විය හැකි ආකාරය කෙසේද යන්න ඉතා පැහැදිලිව ගිවිසුම් කොන්දේසි ඔස්සේ දක්වා ඇති බවද ඔහු සඳහන් කළේය. 

මෙම වැඩසටහන පළමුවරට ලංකාව සිදු කරන වැඩපිළිවෙළක් නොවන බවත් බොහෝමයක් රටවල් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය. ලංකාවට 2012 වර්ෂයේදී මාර්ගගත ක්‍රමවේදය යටතේ වීසා ලබාදීම ආරම්භ කරන ලද බවත් ඔහු පැවැසීය.
එම ක්‍රමවේදය වර්තමානය වනවිට යාවත්කාලීන වී නොතිබුණු බැවින් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එය තාක්ෂණය සමඟ වීසා අයදුම්කරුවන්ට පහසුවක් සලසාදීමක් බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව මෙම නව වීසා ක්‍රමවේදය හරහා සම්පූර්ණ වීසා ක්‍රමවේදයම ඔන්ලයින් හරහා සිදු කිරීමට කටයුතු කර ඇති බවත් ඊට අවශ්‍ය පහසුකම් සලසාදී ඇති බවත් ඔහු පැවැසීය.
පැරණි වීසා ක්‍රමවේදය ඔස්සේ වීසා ලබාදීමේදී දින 30ක කාලයකින් පසු නැවත එය අලුත් කළ යුතු නමුත් නව ක්‍රමවේදය හරහා මාස 03ක කාලයක් හා ඊට වැඩි කාලයක් මෙරට රැඳී සිටීමට හැකියාව ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පෙරේදා (17දා) ආරම්භ කළ බවද ඔහු පැවැසීය.    නව වීසා ක්‍රමවේදය, ඊට අදාළ ගාස්තු, සපුරාලිය යුතු අවශ්‍යතා හා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකි කාල සීමාව අංක 2360/24 හා 2023 නොවැම්බර් 27 වැනිදා අති විශේෂ ගැසට්පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.  

අදාළ ගැසට්පත්‍රය www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි බවත් ඒ අනුව සංචාරක වීසා වර්ග 13ක් හා මාර්ගස්ථ වීසා 02ක් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු කිවේය.  දැනට ක්‍රියාත්මක වන ඊ.ටී.ඒ (Electronic Travel Authorizaton) ක්‍රමවේදය වෙනුවට හඳුන්වාදෙනු ලබන මාර්ගගත ක්‍රමවේදය වන ඊ වීසා පද්ධතිය ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස් ඇන්ඩ් අයි.වී.එස් ග්ලෝබල් ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
www.srilankaevisa.lk යන වෙබ් සබැඳිය ඔස්සේ අදාළ වෙබ් අඩවියට සම්බන්ධ විය හැකි බවද ඔහු පැවැසීය. මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම්කිරීම හඳුන්වාදීම මඟින් වේගවත්ව හා කාර්යක්ෂමව වීසා අයදුම් කිරීම, වීසා ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම තුළින්, විදෙස් සංචාරකයන්ගේ හා ආයෝජකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීම, විදේශ විනිමය ආයෝජනය වැඩි කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායකවීම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ඒ අතර මෙම නව ක්‍රමවේදය හරහා විදේශිකයන් මෙන්ම මෙරට පුරවැසියන්ද වීසා අයදුම් කළ යුත්තේ අදාළ විදෙස් සමාගම හරහා බවත් ඒ සඳහා මෙරටද අදාළ සමාගමේ ශාඛාවක් පිහිටා ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක පැවැසීය.
අදාළ සමාගම දෙපාර්තමේන්තුව සතුව පවතින අතුරු මුහුණතක් ලෙස විවිධ රටවල්වල සිටිමින් මෙය ක්‍රියාත්මක කරන බවත් වීසා ලබා ගැනීමේ කටයුතුවල පහසුව සඳහා අදාළ සමාගම මැදිහත් වන බවත් හෙතෙම කීය.
වසර 10ක කාලසීමාවකට යටත්ව දෙපාර්තමේන්තුව පළමුවරට මෙලෙස විදෙස් සමාගමක් සමඟ ගිවිසුම් ගත වූ බවත් මේ හරහා රටට විශාල විදේශ විනිමයක් රට තුළට ලබා ගැනීමේ අදහසක් පවතින බවත් ඔහු සඳහන් කළේ.

t

o

p