ආදායමෙන් 25%ක් විදුලි පරිභෝජනය සඳහා වෙන් කිරීම ව්‍යාපාරවලට අභියෝගයක්

April 7, 2024

ශ්‍රී ලංකාවේ ඉහළ යන විදුලි ගාස්තු අවම කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති විසඳුම් යෝජනා කරන තරුණ කැඳවුම්කරු
ශ්‍රී ලංකාව, අප්‍රේල් 4, 2024 – ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේ මුහුණ දී සිටින විදුලි ඒකක ගාස්තු ඉහළ යාමේ අර්බුදය සම්බන්ධයෙන් පැවති හමුවකට එක් වෙමින්, පුනර්ජන බලය උදෙසා තරුණ සංවිධානයේ කැඳවුම්කරු ඉඳුනිල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සාමාන්‍ය පවුලක ආදායමෙන් 25%කට ආසන්න ප්‍රමාණයක් විදුලි පරිභෝජනය සඳහා වෙන් කිරීමට සිදු වී ඇති බවත්, මෙම තත්ත්වය ගෘහ හා ව්‍යාපාරවලට සැලකිය යුතු අභියෝගයක් වී ඇති බවත්ය.

රටේ සංවර්ධනය සහ දියුණුව වේගවත් කළ හැකි තාක්‍ෂණික සංකල්ප සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා යොමු වීමේ ඇති අඩු සැලකිල්ල පිළිබඳව ද බණ්ඩාර මහතා මෙහිදී අදහස් පළ කළේය. විදුලි බිල් වැඩි වීම ව්‍යාපාරවලට සහ ව්‍යවසායකයන්ට ඉතා අහිතකර ලෙස බලපාන අතර එය ආර්ථක වර්ධනයට මෙන්ම නවෝත්පාදන අදහස්වලට ද දැඩි බාධාවක් බවද, බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජය සහ විෂය භාර අමාත්‍යවරයා කුමන අදහස් ඉදිරිපත් කළ ද එය බදු ගෙවන ජනතාවට ඉතා බරපතල ලෙස බලපා ඇති බව ද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික දියුණුවට බාධා කරන විදුලිබල ක්ෂේත්‍රයේ ඇති මෙම ගැටලුව සහ බලශක්ති මූලාශ්‍රයන්ගේ ඇති හිඟය පිළිබඳව ද බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය. රට තුළ “බලශක්ති විප්ලවයක්” ඇති කිරීම සඳහා කාලය එළැඹ ඇති බවත්, ප්‍රතිලාභ ඇති බව පෙනෙන්නට තිබියදීත් බලධාරීන්ගේ අනුමැතිය නොලැබීම නිසා දැනටමත් ප්‍රමාද වී ඇති හරිත බලශක්ති ව්‍යාපෘති ඉක්මනින් ආරම්භ කිරීමට අදාළ පාර්ශව විසින් මූලිකත්වය දිය යුතු බවත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා සුදුසු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක්ම මේ වන විට හඳුනාගෙන ඇත. තෙල් නිධි වැනි සාම්ප්‍රදායික බලශක්ති මූලාශ්‍ර අවම වුවත්, ශ්‍රී ලංකාව සිය අපනයන ආදායමෙන් සැලකිය යුතු කොටසක් බොර තෙල්, ගල් අඟුරු සහ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය සඳහා වැය කරනු ලබයි. මෙම ආර්ථික වැය බර පුනර්ජනනීය බලශක්ති සඳහා මාරු වීමට වැය කිරීමේ ඇති වැදගත්කම බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය.

සුළං සහ සූර්ය ශක්තිය හොඳින් ලැබෙන ප්‍රදේශ ලෙස පිළිවෙළින් මන්නාරම සහ හම්බන්තොට යන ප්‍රදේශවල ලෝක බැංකුව විසින් හඳුනාගෙන ඇත. පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීම සහ පුනර්ජනනීය බලශක්ති සඳහා යොමු වීමේ වැදගත්කම, මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය විසින් ද පැහැදිලිව පෙන්වා දුන් කාරණයක් විය.
ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නට බදු ගෙවන ජනතාවට පැහැදිලි ප්‍රතිලාභ අත් කර දෙන්නට ඇනහිට ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා කඩිනම් අනුමැතිය ලබා දිය යුතු බව පෙන්වා දුන් බණ්ඩාර මහතා, ලාභදායි සහ පහසුවෙන් ලබාගත හැකි පුනර්ජනනීය බලශක්ති විසඳුම් වෙත මාරු වීමේ අවස්ථාව මඟ නොහැර ප්‍රයෝජනයට ගන්නා ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටියේය.
වැඩි විස්තර සඳහා

ඉඳුනිල් බණ්ඩාර

t

o

p