ශ්‍රී ලංකාවේ තුන්වැනි තැඹිලි නිෂ්පාදන ගම්මානය හෝමාගම දාම්පේ

April 1, 2024

මෙරට කෘෂිකර්මාන්තය නවීකරණය සහ විවිධාංගීකරණය කිරීමේ වැඩසටහන යටතේ තුන්වන තැඹිලි නිෂ්පාදන ගම්මානය හෝමාගම, දාම්පේ ප්‍රදේශයේදී ආරම්භ කරන ලදි. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ මඟ පෙන්වීම යටතේ අපනයනය අභිමුඛ කර ගනිමින් දාම්පේ ප්‍රදේශයේ මේ තැඹිලි නිෂ්පාදන ගම්මානයේ වගා කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.විශේෂයෙන්ම ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවලත් එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලත් පොල් වතුරට අමතරව තැඹිලි වතුර හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා විශාල වෙළෙඳපොළක් සහ ඉල්ලුමක් වර්ධනය වෙමින් පවතී.

තැඹිලි ගෙඩියේ ස්වාභාවික වර්ණය සහ රසය සහිතව ගුණත්වයෙන් අනූන තැඹිලි නිපදවිය හැක්කේ ශ්‍රී ලංකාවේ පමණි. එම නිසා වසර තුනත් හතරත් අතර කාලයකදී ඵලදාව ගත හැකි තැඹිලි පැළ පනස් දහසක් පමණ මේ වන විට රෝපණය කර ඇත. තෝරාගත් ගොවි පවුල් සඳහා මේ තැඹිලි පැළ විද්‍යානුකූලව වගා කිරීමට වළවල් සකස් කිරීම, පැළ සිටුවීම, පොහොර යෙදීම ඇතුළු ක්‍රමවේද පිළිබඳව නොමිලේ උපදේශනය, පුහුණුව සහ මඟ පෙන්වීම ලබාදීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත.

හෝමාගම සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස ප්‍රවාහන මහාමාර්ග ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව දාම්පේ පිහිටුවනු ලබන තැඹිලි නිෂ්පාදන ගම්මානයේ ගොවි පවුල් අටසිය පනහකට පමණ අවශ්‍ය ගුණත්වයෙන් ඉහළ තැඹිලි පැළ ලබා දීමට පියවර ගෙන ඇත.

t

o

p