ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් විවිධ අංශ මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමට දේශපාලන පක්ෂවලට ආරාධනා

March 28, 2024

පවතින ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්ව ඇති විවිධ අංශ මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ඒකාබද්ධ විසදුම් සෙවීමට එක් වන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ,පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ලියාපදිංචි දේශපාලන පක්ෂවලට ආරාධනා කළේය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී එම ලියාපදිංචි දේශපාලන පක්ෂ වලට තමන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට කාරක සභාව විසින් අවස්ථාව ලබා දෙන ලදී.ඒ අනුව සාමාන්‍ය පුද්ගලයකුට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පවා අපහසු වාතාවරණය සැලකිල්ලට ගෙන, ලංකා සතොස සමඟ එක්ව සලාක ක්‍රමයක් මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම , වඩාත් ජනතා හිතකාමී බදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ දේශීය නිෂ්පාදනයට සහාය වීම කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සඳහා වැඩි වශයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම, සහ දේශීය කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා ද වැඩි වශයෙන් මුදල් ප්‍රතිපාදන ලබාදීම යන යෝජනා හා විසදුම් ඉදිරිපත්විය.

එමෙන්ම රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුව රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව බවද එම පක්ෂ නියෝජිතයින් විසින් කාරක සභාව හමුවේ පැවසීය. තවද සංස්කෘතියෙන් , සහජීවනයෙන් සහ විවිධ ජනවර්ග වලින් පොහොසත් ජාතියක් ලෙස මෙන්ම පිළිගත් සෞඛ්‍ය පද්ධතියක් අප රට තුල පැවතියද එම කරුණු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට යොදා නොගන්නා බවද එම පක්ෂ නියෝජිතයින් පැවසුහ. ඒ අනුව පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් විවිධ අංශ මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ඇතුළත් පොදු සැලැස්මක් සැකසීමට යෝජනා හා විසදුම් ඉදිරිපත්කරමින් තමන් සමග එක්වන ලෙස කාරක සභා සභාපතිවරයා නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

t

o

p