කතානායක, කෝප් කමිටුවට නව සාමාජිකයන් ඉල්ලයි

March 24, 2024

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට නව සාමාජිකයන් පත් කරන ලෙසට කතානායකවරයා විසින් දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් සිදු කර තිබේ.

ඒ, පසුගියදා සිදු වූ ඉල්ලා අස්වීම් ගණනාවකින් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර වෙනුවටයි.

මේ සම්බන්ධයෙන් මොනරා වෙත අදහස් පළ කරමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, මෙය සාමාන්‍ය ක්‍රියාවලියක් වන බවයි.

කෝප් කමිටුවේ මෙවැනි තත්ත්වයක් ඇති වූ ප්‍රථම අවස්ථාව මෙය වන බව ද සඳහන්.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා පත් කිරීමට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරු 11 දෙනෙකු සාමාජිකත්වයෙන් ඉවත් විය.

අනුර කුමාර දිසානායක, දුමින්ද දිසානායක සහ වසන්ත යාපා බණ්ඩාර, එස්. එම්. මරික්කාර්, එරාන් වික්‍රමරත්න, ශානකියන් රාසමානික්කම්, මහාචාර්ය චරිත හේරත්, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ගාමිණී වලේබොඩ සහ හේෂා විතානගේ යන මහත්වරුන් මෙලෙස ඉල්ලා අස්වීමටයි කටයුතු කරයි.

රාජ්‍ය සංස්ථාවල සහ යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් සහ ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා පරික්ෂා කරන කමිටුව පොදු ව්‍යාපාර කාරක සභාව ලෙස හඳුන්වනු ලබයි.

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කිරීම එහි අරමුණ වන බව සඳහන්.

ස්ථාවර නියෝග අංක 126ට අනුව පාර්ලිමේන්තු සැසි වාරයක් ආරම්භයේ දී අදාළ කාරක සභාව පත් කළ යුතුයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සංයුතිය නියෝජන වන ආකාරයට එහි සමාජිකයන් පත් කිරීම සිදු වෙයි.

කාරක සභාවේ ප්‍රථම සැසි වාරයේදී ම එහි සාමාජිකයින් විසින් සභාපතිවරයෙකු පත් කර යුතු බවයි ස්ථාවර නියෝගවල සඳහන්.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ගණ පූර්ණය සාමාජිකයින් 4 දෙනෙකු වෙයි.

t

o

p