ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට හෙට සිට පාසලෙන් ආහාර වේලක්

March 24, 2024

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ ම පාසල් දරුවන්ට හෙට (25) සිට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන, සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30 – 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර තිබේ.

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිතයි.

ඒ යටතේ රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන්ට හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීන් වනවා.

මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජු ව ම පළාත් සභා 09 වෙත වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සෘජු මැදිහත් වීමෙන් මේ වනවිට එක් ශිෂ්‍ය ආහාර වේලක් වෙනුවෙන් රජය සපයන රු. 85/-ක මුදල, පවත්නා වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂව රු. 110/- දක්වා වැඩි කර ඇති බව ද, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායක වීමක් ද වනවා.

මෙම 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහන, ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් හෙට (25) නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ දී ආරම්භ වන අතර ඊට සමගාමී ව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතයි.

t

o

p