තිස්ස රජ මහා විහාරයේ පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

March 23, 2024

යාපනය අර්ධද්වීපයේ පුරාණ විහාරස්ථානයක් ලෙස පවතින කන්කසන්තුරයේ ඇති තිස්ස රජ මහා විහාරයේ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය)සරත් වීරසේකර මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

තිස්ස රජ මහා විහාරය යනු පෞරාණික ඓතිහාසික වටිනාකමක් ඇති විහාරස්ථානයක් වන අතර පුරාවෘත්තවල සදහන් වන්නේ සංඝමිත්තා රහත් තෙරණිය ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරන අවස්ථාවේ ගිමන්හල වු ස්ථානයේ මෙම විහාරස්ථානය ඉදිකර ඇති බවත් එම ස්ථානයේ විහාරස්ථානයක් ඉදි කරන ලෙස දේවානම්පියතිස්ස රජුට දැන් වූ බවත්‍ ය. තවද ප්‍රථම දමිළ දහම් පාසල ආරම්භ කළේ ද මෙම විහාරස්ථානයේ වීම සුවිශේෂී සිදුවීමකි.

නමුත් මේ වන විට සෑම පොහෝ දිනකම පාහේ තිස්ස රජ මහා විහාරයට පිරිසක් සමග දමිළ ජාතික දේශපාලනඥයන් පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කරන බවත් ආරම්භයේදී එය කුඩා පිරිසක් වුවත් කල් ගතවන විට හතළිහක් පමණ පිරිසක් බවට පත් වී ඇති බවත් සභාපතිතුමා පවසා සිටියේය. එතුමා ප්‍රකාශ කළේ මෙය දිගින් දිගටම සිදු වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.

මෙම සාකච්ඡාව මගින් තිස්ස රාජ මහා විහාරය පවතින ඉඩම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් අතර විවිධ මතවාදයන් පවතින බවට කරුණු අනාවරණය විය. වලිකාකම් උතුර ප්‍රාදේශීය ලේකම් පැවසුවේ පන්සල පවතින ඉඩම තුළ පෞද්ගලික ඉඩම් හිමියන් (ඔප්පු සහිත) 13 දෙනෙකු සිටින බවයි. එසේම යුධ හමුදාවේ නිලධාරීන් සඳහන් කළ පරිදි තිස්ස විහාරයට අක්කර ගණනාවක විශාල භූමි ප්‍රමාණයක් අයත් වන අතර පැරණි ග්‍රන්ථ, සිතියම් සහ වෙනත් මූලාශ්‍ර වලද මෙම විහාරස්ථානය පිළිබද කරුණු සදහන් වේ.

තවදුරටත් යුධහමුදාව පවසා සිටියේ මෙම විහාර ඉඩම තුළ පෞද්ගලික ඉඩම් හිමියන්ගේ ඉඩම් නොමැති බවත් ඉඩම් මායිම තුළ එවැනි ඉඩම් පැවතිය හැකි බවත්ය. එම අදහස් වලට තවත් පරස්පර විරෝධී අදහසක් චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමා පැවසීය. තිස්ස විහාරය පවතින ඉඩම තුළ පෞද්ගලික ඉඩම් හිමියන් 16 දෙනෙකුගේ ඉඩම් පවතින බව එතුමා සදහන් කළේය.

මෙම විහාරස්ථානය තුළ පෞද්ගලික ඉඩම් පවතී නම් එම ඉඩම් හිමියන්‍ට ඒ ආසන්නයෙන් වෙනත් ඉඩම් ලබා දීමටත් ඉඩම මායිමට පෞද්ගලික ඉඩම් අයත් වී ඇත්නම් ඒවා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් කාරක සභාව විසින් අදාළ නිලධාරීන්ට දැනුම් දෙන ලදි.

t

o

p