මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධි පතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනතාවට බොහෝ සහන ලබා දෙන බව ප්‍රකාශ කළේය. වංචා හා දූෂණයට එරෙහිව දැඩි පියවර ගෙන යහපාලනයක් ඇතිකරන බවටද පොරොන්දු විය. මේ සඳහා වන දින 100 ක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවටද ප්‍රකාශයට පත් කළේය. දැන් එම දින 100 වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, ඒ දෙස බොහෝ දෙනෙක් අපේක්‌ෂා සහගතව බලා සිටිති. මේ දින 100 වැඩපිළිවෙල තුළ අන්තර්ගතව පැවැති එක් ප්‍රධාන කරුණක් වූයේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ සහ සේවාවන් රාශියක සෘජු හා වක්‍ර බදු අඩු කිරීම සහ වැටුප් වැඩි කිරීම යන්නයි. එය කිරීමට නියමිතව පැවැතියේ ලබන බ්‍රහස්‌පතින්දා (ජනවාරි 29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අය වැයෙනි. ජනවාරි 29 වැනිදා කඩිනම් සහන ලබාදී ජන ජීවිතය යළි නඟා සිටුවීම සඳහා විශේෂ පියවර ඇතුළත් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සඳහන්ය. අතුරු අයවැය ඉදිරිපත් කිරීමටත් පෙර රජය දේශීය තෙල් මිල ගණන් අඩුකර තිබේ. මේ කාරණා ගැන අද දිනයේ බොහෝ දෙනක් අපේක්‌ෂා සහගතතව බලා සිටිති. ඒ අනුව මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ යෝජිත අතුරු අයවැයෙන් සිදුකිරීමට යන බඩු මිල අඩු කිරීමේ සහ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ කාරණය පිළිබඳවයි.
සහන සැලසීමට අදාළව අතුරු අයවැයෙන් කිරීමට යන්නේ තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්‌ඩ ප්‍රමාණයක රජයේ බදු අඩු කිරීම මගින් ඒවායේ මිල අඩු කිරීමට පියවර ගැනීමයි. පසුගිය ජනවාරි 21 දින සිදු කළ දේශීය ඉන්ධන මිල ගණන් අඩුකිරීම නිසාද බස් ගාස්‌තු, වෙනත් ප්‍රවාහන ගාස්‌තු ඇතුළුව පොදුවේ බඩු මිල ගණන් අඩුවීමට බලපෑමක් ඇතිවේ. එහෙත් සාමාන්‍යයෙන් රජය බඩු මිල වැඩි කළ විට දක්‌වන ඉක්‌මන් ප්‍රතිචාරය බඩු මිල ගණන් අඩුවීමකදී වෙළෙන්දන් එයාකාරයෙන්ම දක්‌වන්නේ නැත. ඒ නිසා නව මිල ගණන්වලට වෙළෙඳපොළ අනුගත කිරීම සඳහා රජයේ මැදිහත් වීමද අවශ්‍ය වේ. මෙසේ ඉන්ධන මිල අඩු කළත් ඉකුත් ජනවාරි 22 දින ආනයනික සහල් කිලෝවකට රජය අයකරන බදු මුදල් රු. 20 දක්‌වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේය. ඒ නිසා සහල් මිල ගණන් ඉහළ යනු ඇත. රජය විසින් ප්‍රකාශිත දින 100 වැඩපිළිවෙළක් සහ එහි නිශ්චිත දිනයක්‌ද ප්‍රකාශ කර ඇති පසුබිමක මෙසේ ඊට පිටින් රජයේ විවිධ ඇමැතිවරු ක්‍රියාකරන බවක්‌ද පෙනෙන්නට ඇත. නැත්නම් අතුරු අයවැයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. අවශ්‍ය නම් අතුරු අයවැයෙන් මේ ඉන්ධන මිල අඩුකිරීම සහ සහල් ආනයන බදු වෙනස් කිරීම යනාදියද කළ හැකිව තිබිණි.
මේ අනුව රජය දැනටමත් ඉන්ධන මිල ගණන් අඩු කර ඇති නිසා රජය ජනවාරි 29 දින අතුරු අයවැයෙන් ගෑස් සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල අඩු කිරීම හා රාජ්‍ය සේවා වැටුප් වැඩි කිරීමට පියවර ගනු ඇත. දින 100 වැඩපිළිවෙළේ සඳහන් වන පරිදි රජය බඩු මිල අඩු කිරීමට යන්නේ එම භාණ්‌ඩවලට ඇති සෘජු බදු හා වක්‍ර බදු අඩු කිරීම මගිනි. මෙරටට ආනයනය කරන බොහෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනට විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්දක් ක්‍රියාත්මක වේ. ඒ නිසා එවැනි ආනයනික භාණ්‌ඩවල මිල අඩු කිරීමට නම් එම විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද අඩු කිරීමට රජයට සිදුවනු ඇත. එහෙත් එහිදී දේශීය නිෂ්පාදකයන්ට සිදුවන බලපෑමද රජය විසින් සැලකිය යුතු වෙයි. හේතුව නම් පාරිභෝගිකයා බඩු මිල අඩුවීමට කැමැති වුවත් ගොවීන් සහ නිෂ්පාදකයන් කැමැති වන්නේ තම නිෂ්පාදනවලට හැකි උපරිම මිලක් ලබා ගැනීමට බැවිනි. ඒ නිසා රජයකට මේ දෙපිරිස ගැනම බැලීමට සිදුවේ. එහෙත් ගෑස් සහ ඉන්ධන යන භාණ්‌ඩ ආනයනික භාණ්‌ඩ බැවින් ඒවා සම්බන්ධයෙන් නම් එවැනි ප්‍රශ්නයක් ඇති නොවේ. ආනයනය කරන මෙන්ම දේශීය වශයෙන්ද නිපදවන ආහාර ද්‍රව්‍ය ඇත. එවැනි භාණ්‌ඩවල බදු වෙනස්‌කම් කිරීමේදී රජය විසින් දේශීය ගොවීන් ගැනත් කල්පනා කළ යුතු වේ. අපේ ගොවීන් අස්‌වනු නෙළන කාලයේදී ඒවායේ ආනයනික බදු අඩු කිරීමට ක්‍රියාකළහොත්, ඒවායේ මිල අඩුවී පාරිභෝගිකයා සතුටට පත්වුවත් දේශීය ගොවියාට වන්නේ වහ බීමටය. සහල්, ලොකු ලූනු සහ අර්තාපල් වැනි ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ තත්ත්වය දැනට ඇත. එසේම රජයක් පවත්වාගෙන යැම සඳහා බදු ආදායම් ද අවශ්‍ය වෙයි. රජය බදු අඩු කරන බව කියන අතර, රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බවද කියයි. 100 දිනක් ඇතුළත ක්‍රියාවට නංවන ක්‍ෂණික සහන වැඩසටහනේ අන්තර්ගත පළමු කරුණ වන්නේද මෙම වැටුප් වැඩිකිරීමයි. ඒ මෙසේයි.
“රජයේ සේවකයකුට රු. 10,000 ක වැටුප් වැඩිවීමක් ලබාදීම හා එහි මූලික පියවර හැටියට වහාම ක්‍රියාත්මක වන පරිදි පෙබරවාරි මස වැටුපට රු. 5000 ක වැටුප් වැඩිවීමක් ලබාදීම. සියලු දීමනා ඇතුළත්කොට ඒකාබද්ධ වැටුප තීරණය කිරීමෙන් අනතුරුව හිඟ මුදල්ද සහිතව ඉතිරි වැටුප් වැඩිවීම ලබාදීම.”
මේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ලක්‍ෂ 15 ක් පමණ වන රාජ්‍ය සේවකයන් සියලු දෙනාම ඉතාමත් සතුටට පත්වන බවට කිසිම සැකයක් නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ ඒ සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද යන්න සහ ලක්‍ෂ 65 ක් පමණ පෞද්ගලික අංශයේ අතිමහත් බහුතර සේවක ප්‍රජාවට මීට සමගාමීව වැටුප් වැඩිකිරීම සඳහා රජය අනුගමනය කරන්නට යන වැඩපිළිවෙළ කුමක්‌ද යන්නයි. රජය ඒ සම්බන්ධයෙන් කවර මැදිහත්වීමක් කරනු ඇතිද යන්න ගැන අතිමහත් බහුතර පෞද්ගලික අංශයේ සේවක ප්‍රජාව ද බලා සිටිති.
යෝජිත අතුරු අය වැය ගෙනෙන්නේ ජනතාවට සහන ලබාදීමට පමණක් නොවෙයි. පැවැති මහින්ද රාජපක්‍ෂ රජය මේ වසරට (2015) අදාළ අයවැය ඉදිරිපත් කළේ පැවති අමාත්‍යාංශවලට අදාළවය. එහෙත් දැන් නව රජය යටතේ අමාත්‍යාංශ වෙනස් වී ඇති අතරම අමාත්‍යාංශය ප්‍රමාණයද අඩුවී ඇත. ඒ අනුව නැවත අලුතින් නම් කළ අමාත්‍යාංශවලට අදාළව වැය ශීර්ෂ සකස් කිරීමට සිදුවේ. මේ සම්බන්ධව මේ ලියුම්කරු කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කීවේ මහින්ද රාජපක්‍ෂ රජය විසින් මේ වසරට ඉදිරිපත් කළ අයවැය ලේඛනය නැවත අලුත් අමාත්‍යාංශ අනුව ගැලපීමද අතුරු අයවැය මගින් සිදු වන බවයි. නව රජයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ අනුව අලුත් ආදායම් සහ වියදම් ද ජනිත වෙයි. මේ නිසා අලුත් වසර සඳහා රාජ්‍ය ආදායම් සහ වියදම් තත්ත්වයන් සහ අයවැය හිඟයද අලුතින් ඇස්‌තමේන්තු ගතකර අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව ද දැනගන්නට තිබේ. අත්‍යවශ්‍ය බඩුවලට සහන දුන්නත් අතුරු අයවැය ගෙන ඒමේ පුළුල් අරමුණ එයයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Leave a comment