“මොරගහකන්ද බලන්න ඇවිත් පරිසරය වනසමින් මරුවා එක්ක කරන සෙල්ලම් නවත්වන්න”

March 14, 2024

අඩි තිහකට වැඩි ගැඹුරු ප්‍රපාතයක් සහිත මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානයේ ආරක්ෂක වැටේ සිය නම ලියමින් අවදානම් කාර්යයක නිරත පිරිස් සිටින බව ජලාශය නැරඹීමට පැමිණෙන පිරිස් පවසා සිටිති.

මොරගහකන්ද ජලාශය නැරඹීම සඳහා පැමිණෙන පිරිස්හි ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ආරක්ෂිත වැටක් ඉදිකර තිබේ.

මේ දිනවල ජලාශය නැරඹීම සඳහා පැමිණෙන පිරිස්වලට සම්බන්ධ තරුණ තරුණියන් සිය නම මෙන්ම පෙම්වතුන්ගේ නම් ද ඉදිකර ඇති ආරක්ෂිත වැටේ ලිවීම සිදු කරති.

ඇතැමෙක් බැම්මට පිටතින් පිහිටි අනාරක්ෂිත බෑවුම් ප්‍රදේශයට ආරක්ෂිත වැටෙන් රිංගා ගොස් ඡායාරූප ගැනීම, රිළවුන්ට ආහාර ලබාදීම හා සෙල්ෆි ඡායාරූප ගැනීම් සිදු කරන බව ඇසින් දුටු සංචාරකයෝ පවසා සිටිති.

මෙම අවදානම් ක්‍රියා කලාපය හේතුවෙන් ජීවිත පවා අහිමිවීමේ අවදානමක් පවතින බව ඔවුහු අවධාරණය කරති.

මොරගහකන්ද ජලාශයේ සුන්දරත්වය නැරඹීමට පැමිණ එහි සුන්දරත්වය විඳගන්නවා වෙනුවට සිය නම ලිවීම හෝ අනාරක්ෂිත වෙනත් ක්‍රියාවල නිරතවීම අනුවණකමක් බැව් පෙන්වා දෙන සෙසු සංචාරකයින් අවධාරණය කරන්නේ තරුණ පිරිස් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

t

o

p