USAID වැඩසටහනින් කාන්තාවන් සවිබල ගන්වයි

March 6, 2024

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) සහ කාන්තා සංවර්ධන මහා සංගමය (WDF) අද දින හම්බන්තොට, ගාල්ල, මාතර සහ මොනරාගල ඇතුළු ශ්‍රී ලංකාවේ දකුණු දිග දිස්ත්‍රික්කවල ප්‍රත්‍යස්ථ කාන්තා ව්‍යවසායිකාවන් 40 දෙනෙකුට වීරවිල දී සහතික පිරිනමමින් “කාන්තා ව්‍යවසායිකාවන්ට අළෙවි සහ වෙළඳපල ප්‍රවේශය සඳහා ධාරිතා වර්ධන වැඩසටහන” නම් වැඩසටහනේ සාර්ථක කූටප්‍රාප්තිය සනිටුහන් කරන ලදී. වසරක ගමනක් සම්පූර්ණ කළ මෙම ව්‍යවසායිකාවෝ එම කාලය තුළ USAID සහ WDF වෙතින් පුහුණුව සහ උපදේශන ලබා ගනිමින් ඔවුන්ගේ ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය කුසලතා වලින් සන්නද්ධ වූහ. එපමණක් නොව, ඔවුන් තම වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම සහ දේශීය හා ජාත්‍යන්තර වෙළඳ අවස්ථා සඳහා ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ඉතා අගනා අවබෝධයක් ලබා ගත්හ. එක්සත් ජනපදයේ සහාය ඇතිව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන කාන්තාවන් විසින් මෙහෙයවන සහ කාන්තාවන් සතු ව්‍යවසායන් සවිබල ගැන්වීමේ සහ කලාපයේ සමාජ-ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් වේ.

මෙම වැඩසටහන තුළින් ඉස්මතුවන සාර්ථකත්වයේ කතා අතර හම්බන්තොට, හුංගම ප්‍රදේශයේ පිහිටි කවිශ්ක ප්‍රොඩක්ට්ස් හි හිමිකාරිය වන එච්.ජී. නීලිකා ප්‍රශාන්තිගේ කතාව ද වේ. තම අත්දැකීම් ආවර්ජනය කරමින්, ප්‍රශාන්ති තම සෙල්ලම් බඩු සෑදීමේ ව්‍යාපාරය තවත් ඉහළට ගෙනයාම සඳහා මෙම මුලපිරීම තුළින් ලබාගත් නව නිපුණතා ප්‍රයෝජනයට ගැනීමට තමන් තුළ ඇති කැපවීම පිළිබඳව සඳහන් කළාය. නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා නවීන තාක්‍ෂණය යෙදවීමට ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති ප්‍රශාන්ති මහත්මිය, සිය ව්‍යාපාරයේ මූල්‍ය තිරසාරභාවය සහතික කිරීම සඳහා පොත් තැබීමේ නිසි පිළිවෙත් ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර දැනටමත් ගෙන ඇත.

කාන්තා සංවර්ධන මහා සංගමයෙන් සිදුකළ ඇගැයුමකින් පසුව, ව්‍යවසායිකාවන් වීමට අපේක්ෂා කරන මෙම කතුන්ට ඇති සුවිශේෂී අවශ්‍යතා, අභියෝග සහ තවමත් ඵලප්‍රයෝජනයට නොගත් අවස්ථා ආවරණය වන අන්දමින් මෙම වැඩසටහනේ විෂයයමාලාව ඉතා සැලකිල්ලෙන් සම්පාදනය කර තිබේ. මෙම වැඩසටහනේ පරිවර්තනීය බලපෑම පිළිබඳව ප්‍රශාන්ති මහත්මිය මෙසේ සඳහන් කළාය, “USAID ආධාරයෙන් ක්‍රියාත්මක කළ මෙම මුලපිරීම අපට අළෙවිකරණ කළමනාකරණය, ව්‍යවසායකත්වය, සහ මුල්‍ය භාරකාරීත්වය පිළිබඳව අගය කියා නිම කළ නොහැකි අවබෝධයක් ලබාදුන්නා. එමෙන්ම කලින් අපට ළඟා කරගත නොහැකි වූ අන්දමේ දැනුමක් අපට ලබාදුන්නා.”

USAID හි වෙළඳාම, ජාතික වියදම් සහ ආදායම් හි ප්‍රතිඵල වේගවත් කිරීම සඳහා වන (PARTNER) මුලපිරීම සහ WDF ආයතනය අතර සහයෝගීතාවය සඳහා එක්සත් ජනපදයේ සහාය තුළින් අවධාරනය කරන්නේ ශ්‍රී ලංකාවේ වර්ධනය වන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශයේ සර්වග්‍රාහී ආර්ථික වර්ධනය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පොදු කැපවීමයි. USAID හි ආර්ථික වර්ධන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩෙනිස් වෙස්නර් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රය තුළ කාන්තාවන් නිරූපණය කරන වැදගත් භූමිකාව අවධාරණය කරමින් කාන්තා ව්‍යවසායිකාවන්ට සහය දීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම පිළිබඳව නැවත සඳහන් කළේය. “සාර්ථක ව්‍යවසායකයින්, පවතින සියලු සම්පත් සහ සහයෝගයෙන් ඵල ප්‍රයෝජන ලබා ගන්නවා. මෙම වැඩසටහන හරහා ඔබ ලබා ගත් සම්බන්ධතා, සම මට්ටමේ සගයින්ගේ සහාය ඇතුළු දෑ, දුෂ්කර කාලවලදී ඔබට සහාය වේවි,” යනුවෙන් වෙස්නර් මහතා සඳහන් කළේය.

t

o

p