“CEYLON SPICES” නව ව්‍යාපෘති දියත් කෙරේ

February 28, 2024

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් යුරෝපා සංගමයේ (EU) හා ප්‍රමිති සහ වෙළෙඳ සංවර්ධන පහසුකම (STDF) යන සංවිධාන වල සහයෝගයෙන් සංවිධානය කළ Ceylon Spices ( දේශීය කුළුබඩු ) වල ගෝලීය ව්‍යාප්තිය පුළුල් කිරීම සඳහා වන සමුළුව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දින බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේදී පැවැත්විිය.

මෙහිදී ආරක්ෂිත භුගෝලීය දර්ශකයේ (PGI) දේශීය කුරුදු මාදිලිය ප්‍රතිනිර්මාණය කර ප්‍රමිතියෙන් ඉහළ නැංවිය හැකි ගම්මිරිස්, කෝපි, අන්නාසි, පොල් සහ කජු වැනි විභවයන් සහිත ශ්‍රි ලංකාවේ කුළු බඩු අනෙකුත් කෘෂිකාර්මික භාණ්ඩවල ගෝලීය ප්‍රවේශය පුළුල් කිරිමට සහ අපනයන සංවර්ධනය සඳහා වන ව්‍යාපෘති යෝජනාව UNIDO විසින් ඉදිරිපත් කරනලදි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අවධානය වනුයේ කුළුබඩු සහ සාන්ද්‍ර අගය දාමවල ආහාර සුරක්ෂිතතාව, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සමාජ-ආර්ථික සංවර්ධන ඉහළ නැංවීම මෙන්ම “සිලෝන් ස්පයිසස්” අපනයන වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවෙහි කුළුබඩු මෙන්ම අනෙකුත් නිෂ්පාදනයන්හී ද කිර්තීය ඉහළ නැංවීමයි.

මේ අවස්ථාව සඳහා එක්වෙමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මෙවැනි ගෝලීය ව්‍යාප්තියන් ප්‍රවර්ධනය කිරීමට සිදුවන වැඩසටහනක් නිසා එය මෙරට දේශීය කුළුබඩු නිෂ්පාදකයන්ට මෙන්ම මෙරට ආර්ථිකය සඳහා ද ඉතාම වටිනා අවස්ථාවක් වන බවයි.

එබැවින් ඒ වෙනුවෙන් යුරෝපා සංගමය සහ UNIDO සංවිධාන වෙත ස්තුතිවන්ත වන බවත් ඒ මහතා සඳහන් කරයි.

එමෙන්ම පසුගිය කොරෝනා සමය තුළ මෙරට අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට තිබුනත් 2022 වර්ෂයේ සිට මේ වන තෙක් මෙරට අපනයන ආදායමෙහි වේගවත් වර්ධනයක් දක්නට හැකි බවත් මෙම ව්‍යාපෘතිය එය තවතවත් සාර්ථකත්වය කරා රැගෙන යාමට පිටුවහලක් වන බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.

එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ඉතාම වටිනා කුළුබඩු ප්‍රභේද තිබුණ ද ඒවා අපනයනය කරා රැගෙන යාමට ගොවීන්ගේ ආර්ථික ශක්තියේ ඇති පහසුතා මෙන්ම ඒ පිළිබඳ ඇති විශේෂඥ දැනුම ප්‍රමාණවත් නොවීම වැනි කරුණු බලපා ඇති බවත් මෙම ව්‍යාපෘතිය හරහා එම බාධක මග හැර සාර්ථක අපනයන ආර්ථිකය කරා යා හැකි බවයි.

මෙහිදී අදහස් දක්වමින් ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙස් මහතා පැවසුවේ ශ්‍රී ලාංකේය කුළුබඩු කර්මාන්තයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් යුරෝපා සංගමයේ සිලෝන් සිනමන් ව්‍යාප්තිය වෙනුවෙන් කටයුතු කිරීම පිළිබඳව ඉතාම සතුටු වන බවත් යුරෝපා සංගමයේ මුල්‍ය ආධාර මත, UNIDO සහ ආහාර හා කෘෂිකර්ම සංවිධාන සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලද “Best Standardized practice for the Agri-Food Sector Development” ව්‍යාපෘතියේ සාර්ථකත්වය, යෝජිත ව්‍යාපෘතිය සඳහා ඉවහල් වන බවත්ය.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙස්, UNIDO හි ජාත්‍යන්තර ජේෂ්ඨ තාක්ෂණික විශේෂඥ, ආචාර්ය Jairo Villamil-Diaz, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ රන්කෙත් කුඹුර, UNIDO හි කෘෂිකර්ම සංවර්ධන ආශ්‍රිත විශේෂඥ April Charg, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම් තරංගනී වික්‍රමසිංහ, ප්‍රමිති සහ වෙළඳ සංවර්ධන පහසුකම් ලේකම් කාර්යාලය ප්‍රධානී Melvin Spreij, UNIDO හි කෘෂි ව්‍යාපාර විශේෂඥ සම්පත් සේනානායක , කුළුබඩු සභාවෙහි සභපති විරාජ් ද සිල්වා, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේහි නිළධාරින් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියි.

t

o

p