විදුලි මිල අවම වශයෙන් 20% ඉක්මවූ ප්‍රතිශතයකින් අඩු කළ යුතු බවට නිර්දේශයක්

February 26, 2024

විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම ආදී පාර්ශ්ව ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සහ විදුලි මිල සම්බන්ධයෙන් බලපාන අනෙකුත් සියලු කරුණු විග්‍රහාත්මකව සමාලෝචනය කොට පවතින විදුලි මිල 33% කින් පමණ අඩු කළ හැකි බවට විශේෂඥයන් දක්වන මතය ද සැළකිල්ලට ගෙන අවම වශයෙන් 20% ඉක්මවූ ප්‍රතිශතයකින්, 2024 වර්ෂයේදී විදුලිබල මණ්ඩලයට ද අලාභයක් නොවන පරිදි අඩු කළ යුතු බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගිතා කොමිසමට නිර්දේශ කරන ලදි.

ඒ අනුව මේ මස අවසන් වන විට විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදරිපත් කළ හැකි බව මහජන උපයෝගිත කොමිසමේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතායේ සභාපතීත්වයෙන් පසුගිය දා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙවර කාරක සභාවේ සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යංශය , මුදල් අමාත්‍යංශය , ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන උපයයෝගීතා කොමිෂන් සභාව , කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව , දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතනවල නිලධාරීන්ත ද,සුළු සහ මධ්‍ය පරිමාණ්ඩ කර්මාන්ත මණ්ඩලය ඇතුළු ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පිරිසක් ද කැඳවා තිබුණි.

සෘජුවම ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව ඇති ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත හඳුනා ගැනීමත් එම කර්මාන්ත ක්ෂේත්‍රය නැවත පණ ගැන්වීම තුළින් දේශීය ආර්ථිකය සක්‍රිය කර ගැනීමත්, විදේශ විනිමය ඉපයීම ඉහළ නංවා ගැනීමත් යන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කාරක සභාව මෙහිදී නියෝග කිහිපයක් අදාළ ආයතන හා නිලධාරීන් වෙත ලබා දෙන ලදි.

ඒ අනුව විදුලි බිල ඉහළ යාම් නිසා දිවයින පුරා මේ වන විට වාර්ථා වී ඇති විදුලිය සම්බන්ධතා කපා හැරීම් ලක්ෂ 10 ඉක්මවන බව පෙන්වා දුන් කාරක සභාව කර්මාන්ත ක්ෂේත්‍රයට සහ සමාජයට ඇති වී තිබෙන පීඩනය සමනය කීරීම සඳහා වාරික පදනමින් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම සහිතව මූලික අවස්ථාවේදී හිඟ ගාස්තුවෙන් 50% ක් පමණක් අය කර ගනිමින් නැවත විදුලිය සම්බන්ධතා ලබා දීමට කටයුතු කළ යුතු බව කාරක සභාව මෙහිදී නිර්දේශ කරන ලදී.

එමෙන්ම ස්ථාවර විදුලිය සම්බන්ධතා ලබා ගැනීමේදී ගෙවීමට සිදු වන ඉහළ ගාස්තු නිසා ක්ෂුද්‍ර, සුළු සහ මූල්‍ය කර්මාන්ත ආරම්භ කිරීමට යොමු වන නව ව්‍යවසායකයන් අධෛර්යයට පත් වීම වැළැක්වීම සඳහා සම්බන්ධතා ලබා ගැනීමේ ගාස්තුව ද වාරික වශයෙන් ගෙවීමට පාරිභෝගිකයාට ඉඩ සලසන ලෙසත් නව සම්බන්ධතා ගාස්තුව සමාලෝචනය කොට එය උපරිමයකින් අඩු කිරීමට කටයුතු කරන ලෙසත් කමිටුව නියෝග කරන ලදි.

එමෙන්ම බලශක්ති සුරෂිත බව තහවුරු කිරීම සඳහා ප්‍රවේශයක් ලෙස රාජ්‍ය අංශයේ විදුලි පරිභෝජනය පිළිබඳව විගණනයක් සිදු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා මෙහිදී මහජන උපයෝගිතා කොමිසමට උපදෙස් ලබා දුන්නේය.

කර්මාන්ත සඳහා බලශක්ති සැපයුම් මාර්ගයක් ලෙස සූර්‍ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සූර්‍ය පැනල පද්ධති මිලදී ගැනීම සඳහා සහන පොළි යටතේ ණය ක්‍රමයක් ආරම්භ කිරීමට කාරක සභාව මුදල් අමාත්‍යාංශයට සහ මහ බැංකුවට නිර්දේශ කරන ලදී. එමෙන්ම සහන පොළී අනුපාත යටතේ ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉලක්ක කර ගනිමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා කාරක විසින් සිදු කළ යෝජනාව අනුව උපරිමයකට යටත්ව ප්‍රතිමූල්‍ය පහසුකම් සැපයීමට මුදල් අමාත්‍යාංශය සිය එකඟතාවය පළ කරන ලදි.

ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සැපයුම තහවුරු කිරීම සඳහා, විදේශයන්ගෙන් අත්‍යාවශ්‍යයෙන්ම ආනයනය කළ යුතු අමුද්‍රව්‍ය හඳුනාගනිමින් එම අමුද්‍රව්‍ය මත බදු සහන පැනවීමටද කාරක සභාව මෙහිදී නිර්දේශ කරන ලදී. තවද දැනට විදුලිබල මණ්ඩලය විසින් බාහිර ගැනුම්කරුවන්ට සහ වෙනත් ආයතනවලට අලෙවි කරමින් ඇති, දේශීය කර්මාන්ත රාශියක අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන තඹ, ඊයම්, ඇළුමිනියම් සහ අනෙකුත් කාර්මික අබලි ද්‍රව්‍ය කර්මාන්ත අමාත්‍යාංශයේ සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ මගින් නිර්දේශ කරන ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන ලෙසට අදාළ ආයතන වෙත නියෝග කරන ලදි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය කර්මාන්ත වෙනුවෙන් භාවිතා කරන නිර්වචනය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, මහ බැංකුව වැනි අනෙකුත් ආයතන එම කර්මාන්ත වෙනුවෙන් භාවිතා කරන නිර්වචනය එකිනෙකට වෙනස් වීම හේතුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමෙහිලා එය බාධාවක් වන බව කාරක සභාවට මෙම සාකච්ජාවේදී නිරීක්ෂණය විය .ඒ අනුව වහාම පොදු නිර්වචනයක් මත පිහිටා සංඛ්‍යා දත්ත නිකුත් කිරීම ඔස්සේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට සිය සහයෝගය ලබා දෙන ලෙසට කමිටුව විසින් ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදි.

තවද මූල්‍ය අර්බුදවලට ලක්ව සිටින ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තවල ශේෂ පත්‍රය සක්‍රිය කර ගැනීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනීම පහසු වනු පිණිස ඔවුන්ගේ ණය තොරතුරු අසාදු ලේඛනවලින් ඉවත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ණය තොරතුරු කාර්යාංශය කටයුතු කළ යුතු බවත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ලියාපදිංචියට මෙන්ම ඒවාට බලපත්‍ර ලබා ගැනීමට පවතින සියළු නීති සහ ක්‍රමවේද සමාලෝචනය කර සරල ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් කාරක සභව නිර්දේශ කරන ලදි.

ඒ අනුව කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කරවීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කරන ලෙසටත්, සතියක් තුළ එහි ප්‍රගතිය වාර්තා කිරීමට කටයුතු කරන ලෙසටත් කාරක සභව විසින් සියලු පාර්ශවයන් වෙත දැනුම් දෙන ලදි.

t

o

p