අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසෙහි වැදගත්කම ගැන එ.ජ. රාජ්‍ය උප ලේකම්තුමිය අවධාරණය කරයි

February 20, 2024

ශ්‍රී ලංකා චාරිකාවක නිරත වූ ප්‍රථම මහජන රාජතාන්ත්‍රික කටයුතු සඳහා වන එ.ජ. රාජ්‍ය උප ලේකම්තුමිය වන ලිස් ඇලන් මහත්මිය, කොළඹ සිදුකළ ඓතිහාසික තෙදින චාරිකාවක් (පෙබරවාරි 17-19) නිම කළාය. එහිදී ඇය තරුණ නායකයින්, ව්‍යවසායකයින්, අන්තර්ගත නිර්මාපකයින්, සිවිල් සමාජය සහ මාධ්‍යවේදීන් හමු වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාතත්වයට පත් කිරීම සඳහා සහ දීර්ඝ කාලීන සෞභාග්‍ය උදෙසා එක්සත් ජනපදයේ සහයෝගය යළි තහවුරු කළාය. විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, ඇලන් උප ලේකම්තුමිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකදී, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබඳව සාකච්ඡා කෙරිනි; ජවසම්පන්න තොරතුරු අවකාශයක් සහ තිරසාර ආර්ථික වර්ධනයක් අතර සම්බන්ධය අවධාරනය කෙරිනි; එමෙන්ම, සර්වග්‍රාහී පාලනය සම්බන්ධයෙන් කලාපීය ආදර්ශයක් බවට පත්වීමට මග පාදාගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව පිළිගැනීමට ලක් කෙරිනි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජ තුළ මාධ්‍ය නිරූපණය කරන අත්‍යාවශ්‍ය භූමිකාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කොළඹ දී සංවිධානය කර තිබූ හමුවකදී, එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්, සිවිල් සමාජය සහ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් ඇතුළු පිරිස ඇලන් උප ලේකම්තුමියගේ අදහස්වලට සවන් දුන්හ. එහිදී ඇය මෙසේ සඳහන් කළාය: “පරම්පරා ගණනාවක් තිස්සේ රජයන් සහ මාධ්‍ය සංකීර්ණ සහ ඇතැම්විට එදිරිවාදී වන සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ ගතිකය එක රටකට සුවිෂේශී වූ දෙයක් නොවේ. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම ජනාධිපතිවරුන් මාධ්‍ය සමග ගැටීම් අත්විඳ තිබෙනවා.

මේ ආතතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක්, එය විනිවිදභාවය පෝෂණය කරන්නටත් සඵලදායී පාලනය දිරිගන්වන්නටත් වැදගත් භුමිකාවක් නිරූපණය කරනවා.”
එ.ජ. තානාපති කාර්යාලයේ සහය ඇතිව අයිඩියාහෙල් ස්ටුඩියෝ හි පැවැත්වූ Creator X වැඩමුළුව අවස්ථාවේ දී උප ලේකම්තුමිය ඩිජිටල් ටර්ටල්ස් නිර්මාපකයින් සවිබලගැන්වීමේ වැඩසටහනට සහභාගිවන්නන් සමගින් කථාබහ කළාය. එහිදී ඇය: “අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක මූලික පදනමේ වැදගත් අංගයක් වනවා, අද දින පැවැත්වෙන මෙම හමුව වැනි හමු, එහි චිරස්ථායී වටිනාකම සඳහා සාක්ෂියක් වනවා. විවිධ භාෂා සහ සංස්කෘතික පසුබිම්වලින් එන නිර්මාපකයින් පළමු වරට මෙසේ එක් වහලක් යටට රැස් කිරීම මේ නිදහස සුරැකීමේ වැදගත්කම අවධාරණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සඳහා සහයදෙන සහ ශක්තිමත් කරන ආඛ්‍යාන හැඩගැස්වීමෙහි ලා ඔබ කරන කටයුතු ඉතාමත් වැදගත් වනවා,” යනුවෙන් අදහස් පල කළාය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ විවිධත්වය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම පිණිස උප ලේකම්තුමිය කොළඹ ප්‍රදේශයේ විවිධ වූ ආගමික ප්‍රජාවන් හරහා ඉගෙනුම් චාරිකාවක නිරත වූවාය. ගංගාරාම විහාරස්ථානය, ශාන්ත අන්තෝනි දේවස්ථානය, ශ්‍රී පොන්නම්බල වනේස්වරාර් කෝවිල, සහ ජමි උල්-අල්ෆර් පල්ලිය ඊට ඇතුළත් විය. එසේම, වේගා ඉනොවේෂන් හි විදුලි ත්‍රිරෝද රථයක නැගී කොළඹ නගරයේ විථි සැරිසැරූ ඇය, තිරසාර ප්‍රවාහනය වෙනුවෙන් මෙරටේ ගන්නා නවමු පියවර දැකගත්තාය. USAID හරහා වේගා සමාගම සහ පෞද්ගලික අංශයේ මූලික ආයතන සමගින් හවුල් වී එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය සහ නවෝත්පාදනය වැඩිදියුණු කිරීමට කැප වී සිටියි.
සමෘද්ධිමත්, අන්තර් සම්බන්ධිත ශ්‍රී ලංකාවක් හැඩගැස්වීමේ දී තාරුණ්‍ය ඉටු කරන වැදගත් කාර්යභාරය හඳුනා ගැනීමෙන් අනාගත පරම්පරාව සඳහා ආයෝජනය කිරීමට ඇමරිකාවේ කැපවීම අවධාරණය කරමින්, උප ලේකම්තුමිය එක්සත් ජනපද තානාපති කාර්යාලයේ තරුණ සංසදය සමඟ කථා කළාය.

2024 මාර්තු 4 සිට 7 වැනි දින දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වාර්ෂික තරුණ නායකත්ව සමුළුව, දේශගුණික විපර්යාස වැනි ඉන්දු- ශාන්තිකර කලාපය මුළුල්ලේ පවතින දැවෙන ගැටළු පසුබිමෙහි සංවාද පෝෂණය කිරීම සඳහා, සහ නවෝත්පාදනයන් සහ ධනාත්මක වෙනස්කම් ඇති කරන කුසලතා ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ සහ අසල්වැසි රටවල තරුණ නායකයින් එක්සත් කරමින් සබඳතා ශක්තිමත් කිරීම සඳහා කලාපීය ආකෘතියක් ලෙස ක්‍රියා කරන බව ඇය අවධාරණය කළාය.
මහජන රාජතාන්ත්‍රික කටයුතු පිළිබඳ රාජ්‍ය උප ලේකම්තුමිය පිළිබඳව: මහජන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් ලිස් ඇලන් මහත්මිය එක්සත් ජනපදයේ ජනතාව සහ වෙනත් රටවල පුරවැසියන් අතර සබඳතා පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රයත්නයන් මෙහෙයවයි. මාධ්‍ය, සංස්කෘතික හුවමාරු සහ අධ්‍යාපනික වැඩසටහන් හරහා විදේශ ප්‍රේක්ෂකයින් සමඟ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ඇය වගකිව කියන්නීය.

t

o

p