“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

February 20, 2024

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව ගරු කතානායකතුමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායකවරයා අද (20) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

උක්ත පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පහත පරිදි වේ:-

3, 42, 53, සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් ඒවා සම්මත කළ යුතු ය. එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.

4 වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව සුදුසු පරිදි සංශෝධනය විය යුතුය.

72 (1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන අතර විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවය ඉවත්ව යනු ඇත. ඊට අනුරූපව, 72(2) වගන්තියද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකූලව සංශෝධනය කළ යුතුය.

75 (3) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 4 (ඇ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අතර, 2/3 ක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවය ඉවත්ව යනු ඇත.

83 (7) වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු ය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවය ඉවත්ව යනු ඇත.

තවද, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ විධිවිධානවලට අනුකූලව ඉදිරිපත් කරන ලද සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් පනත් කෙටුම්පත නීතියක් බවට පත් කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

“ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය” පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව ගරු කථානායකතුමා වෙත ලැබී තිබේ.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පහත පරිදි වේ:-

5(3)(ආ), 3(ඇ) වගන්තිය සමඟ කියවිය යුතු 20(3)(එ), 70 වගන්තිය සමඟ කියවිය යුතු 20(3)(ඒ), 20(3)(ඔ), 3(ඇ) වගන්තිය සමඟ කියවිය යුතු 20(3)(ජ), 20(3)(ට), 20(4)(ඇ), 32(1), 60, 76 සහ 84 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් ඒවා සම්මත කළ යුතු ය. එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.

39(2) සහ 60 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා සමඟ කියවිය යුතු 76 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් ඒවා සම්මත කළ යුතු අතර 83 වගන්තියේ විධිවිධාන අනුව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුය . එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.

65 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු ය. එසේ වුවද එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවය ඉවත්ව යනු ඇත.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධන, කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට යටත්ව මෙම පනත හෝ එහි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය ඉදිරිපත් කර ඇත.

පනත් කෙටුම්පත් 5කට කථානායකවරයාගේ සහතිකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව, ගරු කථානායකතුමා විසින් 2024 පෙබරවාරි 19 දින “හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ), ශ්‍රී ලංකා බැප්ටිස් සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන), ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ), සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) සහ දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ)” යන පනත් කෙටුම්පත්හි සහතිකය සටහන් කරන ලද බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා නිවේදනය කළේය.

t

o

p