මාර්ගගත ක්‍රමය (online ) ඔස්සේ ද පුහුණු පාඨමාලා ඇතුළු අධ්‍යයන කටයුතු සිදුකිරීම ආරම්භ කරයි

February 15, 2024

බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය යන ආයතන වල ඉදිරි සැලසුම් ඉදිරිපත්කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දන්වයි.

මෙදින කාරක සභාව හමුවේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය හා ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය යන ආයතන වල කාර්යභාරය හා ඒවායේ අනාගත සැලසුම් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමග දීර්ඝලෙස සාකච්ජා කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සහ උපාය මාර්ගික අවශ්‍යතා පිළිබඳ ස්වාධීන පර්යේෂණවල නිරත වීම මූලික කරගෙන ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය (LKIIRSS) පිහිටුවා ඇති අතර රාජ්‍ය තාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උසස් පුහුණු පාඨමාලා පිරිනැමීමේ අරමුණින් 1995 වසරේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) පිහිටුවා ඇති බව නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.

වර්තමානය වන විට මෙම ආයතන වල අධ්‍යයන කටයුතු භෞතිකව පමණක් සිදුවන බැවින් මාර්ගගත ක්‍රමය (online ) ඔස්සේ ද එම අධ්‍යයන කටයුතු සිදුකිරීමේ හැකියාව පිළිබදව කාරක සභාව නිලධාරීන්ගෙන් මෙහිදී විමසා සිටියේය. ඒ අනුව ඉදිරියේදී මෙම ආයතනවල පුහුණු පාඨමාලා ඇතුළු අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමය (online ) ඔස්සේ ද සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

එමෙන්ම මෙම ආයතන මගින් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජාත්‍යන්තර සබඳතා ආශ්‍රිත දැනුම පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ජා විය. තවද කාරක සභාවට සහභාගිවී සිටි තරුණ නියෝජිතයින් විසින් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විෂය හා ඒ ආශ්‍රිත දැනුම ග්‍රාමීය මට්ටමින් ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී. මාර්ගගත ක්‍රමය (online ) ඔස්සේ මෙම විෂය හැදෑරීමට අවස්ථාව පවතීනම් එය මෙරට සියලු පළාත්වල එම විෂය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසට වඩාත් ප්‍රයෝජනවත් වන බව තරුණ නියෝජිතන් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.

t

o

p