පැතුම්ගෙන් වාර්තා රැසක්

February 15, 2024

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (14) අවසන් වූයේ, ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් (Whitewash) අත් කර දෙමිනි.

නිමා වූ තරගාවලිය තුළ වාර්තා කිහිපයක් ද අලුත් වූ අතර, ඒ අතර පැතුම් නිස්සංක තැබූ වාර්තා කිහිපයක් ම හඳුනාගත හැකි ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු සහ එක ම ක්‍රීඩකයා බවට පත් වීමට පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයේ දී පැතුම් නිස්සංකට හැකි විය.

මෙම දස්කම දැක්වූ ලොව පස් වැනියා වන්නේ ද පැතුම් නිස්සංක වන අතර, ලෝකයට ම ඇත්තේ, එක්දින ද්විත්ව ශතක 12ක් පමණි.
පැතුම් සිය ඉනිමේ දී නො දැවී ලකුණු 210ක් වාර්තා කළ අතර, ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 136ක් පමණි.

එය ලොව තෙවැනි වේගවත්ම එක්දින ද්විත්ව ශතකය ලෙසට ද වාර්තා අතරට එක් විය.

පැතුම්ගේ ඉනිම තුළ තවත් ශ්‍රී ලංකා වාර්තාවක් ද අලුත් විය.

එනම් 04 සහ 06 පහරවලින් ශ්‍රී ලාංකේය ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ලකුණු ගණනේ වාර්තාව යි.

පැතුම් නිස්සංක මෙම ඉනිමේ දී හතරේ පහර 20ක් සහ හයේ පහර 08ක් සමඟින් ලකුණු 128ක් රැස් කළේ ය.

ඊයේ අවසන් වූ තුන් වැනි එක්දින තරගයේ දී ද ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංකට හැකි විය.

ඒ සමඟ ලකුණු 2,000 සීමා ඉක්මවා ගිය වේගවත්ම ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා බවට පත් වීමට පැතුම් නිස්සංක සමත් විය.

ඒ සඳහා ඔහු වැය කර තිබුණේ, ඉනිම් 52කි.

මේ අතර, තරග 03කින් සමන්විත එක්දින තරගාවලියක දී ලාංකික පිතිකරුවකු රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ ශ්‍රී ලංකා වාර්තාව ද තමාගේ නමට ලියා ගැනීමට පැතුම් නිස්සංකට ඊයේ හැකි විය.

ඔහු තරග 03 දී ලකුණු 346ක් වාර්තා කළේ ය.

t

o

p