නව පත්කිරීම් 5කට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

January 17, 2024

මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ලෙස පී. ආර්. එස්. ගුණවර්ධන මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස එස්.සී.ජේ. දේවේන්ද්‍ර මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුනි.

රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශයේ ලේකම් ලෙස ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගම මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු මහතාගේ පත්වීමටද, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා ලෙස ජේ.එම්. සූසෙයිදාසන් මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය.

මේ සඳහා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, තලතා අතුකෝරල, උදය ගම්මන්පිල, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන පිරිස සහභාගී විය.

t

o

p