අස්වැසුම දෙවෙනි අදියරයට පළපුරුදු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සම්බන්ධ කර ගන්න – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශයක්

December 20, 2023

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සංගම්වල නියෝජිතයන් ද කැඳවා තිබිණි.

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරය ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම කටයුත්ත, ග්‍රාම නිලධාරීන් වෙත පැවරුණු අතර ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාව සහ දීමනාව සම්බන්ධ ගැටළු හේතුවෙන් ඒ සඳහා ග්‍රාම නිලධාරීන්ගේ දායකත්වය ද ලබා ගැනීමට නොහැකි වූ බවත්, එම ක්‍රියාවලිය ආධුනික නිලධාරීන් ලවා කරවා ගැනීමට සිදුවීම නිසා ප්‍රායෝගික ගැටළු රාශියක් පැන නැගුණු බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය. අස්වැසුම දෙවෙනි අදියරය ක්‍රියාත්මක කීරීමේ දී ගම් මට්ටමින් සමාජ සුබසාධන කටයුතු ඉටු කිරීම වෙනුවෙන්ම පත් කර තිබෙන, ඒ සඳහා පළපුරුද්දක් ඇති සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ම එම කටයුත්ත සඳහා සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේය.

ඒ සඳහා නීතිමය බාධාවක් නොවන බව අනාවරණය වූ නිසා ප්‍රතිලාභීන් සෙවීමේ කටයුත්ත අධ්‍යාපනය, සෞඛ්‍යය යන ක්ෂේත්‍රවලට කරන බර තැබීම අඩු කොට දුප්පත්කම යන කරුණට වැඩි බර තැබීමක් සිදු කරමින් ආරම්භ කරන ලෙස උපදෙස් දුන් සභාපතිවරයා විදුලිය බිල යන පරාමිතිය මත දිළිඳුකම මැනීමේ වැදගත්කම තමන් මුල සිට අවධාරණය කළා සේම එම පරාමිතිය සැලකිල්ලට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එමගින් ප්‍රතික්ෂේප කළ නොහැකි, අභියෝග කළ නොහැකි ශක්තිමත් පරාමිතියක් අනුව ක්‍රියාවලිය සම්පූර්ණ කළ හැකි බව ද, පෙන්වා දුන්නේ ය.

දුප්පතුන්ගේ රෙජිස්ටරය සකස් කිරීමේ ජාතික කර්තව්‍යයට සම්බන්ධ වීමට සූදානම් ද යන්න ඔහු මෙහිදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් විමසා සිටියේ ය. එහිදී සමෘද්ධි නිලධාරීන් පෙන්වා දුන්නේ අස්වැසුම ක්‍රියාවලියේ දෙවෙනි අදියරය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සම්බන්ධ වන නමුත්, 2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනතේ 21 සහ 22 වගන්ති ප්‍රකාරව රාජකාරි ඉටු කිරීමේදී අසත්‍ය තොරතුරක් මත ක්‍රියා කිරීම හේතුවෙන් වැරදිකරු වීම, දඬුවමට යටත් වීම හා වැරදි ගෙවීම්වලදී ආපසු අය කර ගැනීම යන ප්‍රතිපාදන හේතු‍වෙන් තමන්ට සිදුවන නීතිමය අසීරුතාව ඉවත් කර දෙන ලෙස ඉල්ලා සිටින බව ය. එහිදී සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ මෙතෙක් එම වගන්ති මගින් නිලධාරීන් වෙත කිසිදු අපහසුතාවක් සිදු වී නොමැති බව ය.

අදාළ පනත සංශෝධනය කිරීම, පාර්ශවයන් අතර යම්කිසි එකඟතාවකට ලිඛිතව එළඹීම සහ විශ්වාසය හා රටේ අවශ්‍යතාව මත පදනම් ව සුහදශීලී එකඟතාවකින් වගකීම ඉටු කිරීම යන විකල්පයන් අතරින් එකක් තෝරා ගත යුතු බවත්, ඉන් වඩාත් සිදු කළ හැකි සහ දුප්පතාගේ වටපිටාව ගැන සිතා සහකම්පනයෙන් සිදු කළ යුතු කාර්යය වන විශ්වාසය මත රාජකාරියට එළඹීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.

කෙසේවෙතත්, සමෘද්ධි නිලධාරීන්ගේ පාර්ශවයෙන් වාචික එකඟතාවකට වඩා නීතිමය පදනමකින් පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ. ඒ අනුව 2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනතේ 21 සහ 22 වගන්ති සංශෝධනය කිරීම සඳහා මීට පෙරද මුදල් අමාත්‍යාංශය වෙත කාරක සභා‍ව විසින් නිර්දේශයක් කර ඇති බවත්, එම නිර්දේශය නැවත මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, එස්.එම්.එම්. මුෂාරෆ්, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ද, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද එක්ව සිටියහ.

t

o

p