වාහන ලක්ෂ විසි තුනක් තහනම් කිරීමට පියවර

December 17, 2023

ලියාපදිංචිව ඇති, එහෙත් වසර ගණනාවක් තිස්සේ ආගිය අතක් නැති වාහන ලක්ෂ විසි තුනක් පමණ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 

ඒ අනුව වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන හෝ පැවරීමකට යොමුව නැති වාහන සම්බන්ධයෙන් තදින්ම කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ වනවිට වාහන අසූ තුන් ලක්ෂයක් ලියාපදිංචිව ඇතත් වාර්ෂිකව වාහන ආදායම් බලපත්‍ර අලුත් කර ගැනෙන්නේ වාහන පනස් පන් ලක්ෂයක් පමණක් බවත් ඒ බව වාහන ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට අවශ්‍ය දුම් සහතික ලබා ගැනීමෙන් තහවුරු වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශ කරන ලදි. 

ඒ හැරුණු විට ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට දුම් සහතික අවශ්‍ය නොවන විට හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික්, ඉඩම් වාහන මෙන්ම 1975 වසරට පෙර ලියාපදිංචි වූ වාහන ලක්ෂ පහක පමණ සංඛ්‍යාවක් භාවිතයේ තිබෙන බවත් ඒ අනුව සමස්තයක් වශයෙන් ගතහොත් වාහන ලක්ෂ හැට එකක පමණ සංඛ්‍යාවක් භාවිතයේ පවතින බවට අනුමාන කළ හැකි බවත් ප්‍රකාශ කරයි. 

කෙසේ වෙතත්, වාහන ලක්ෂ විසි තුනකට අධික සංඛ්‍යාවක් ගැන නිශ්චිත තොරතුරු නොමැති වීමත් අපරාධ සඳහා යතුරුපැදි ඇතුළු එවැනි වාහන යොදා ගන්නා බවට තොරතුරු හෙළි වීමක් නිසා වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන නැති සියලුම වාහන ලියාපදිංචියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමට අවධානය යොමුව ඇති බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේ.

t

o

p