ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් විදුලි බලයෙන් ධාවනය කරවීමේ සැලසුමක්

December 12, 2023

මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2කට අධික සංඛ්‍යාවක් සඳහා පරිසර හිතකාමී හා සහනදායී විසඳුමක් හඳුන්වා දීමට ‘Lanka e-Mobility Solutions’ (Private) Limited (LeMS) පියවර ගෙන තිබේ. ‘e-wheel’ ලෙස නම් කර ඇති, බැටරි මාරු කිරීමේ තාක්ෂණයක් වන මෙය භාවිත කිරීමට මෙරට ත්‍රිරෝද රථ හිමියන්ට ළඟදීම අවස්ථාව ලැබෙනු ඇත. මේ අනුව මින් ඉදිරියට ත්‍රිරෝද රථ හිමියන්ට අධික මුදලක් වැය කරමින් බැටරි මිලදී ගැනීමට හෝ ඒවායෙහි ආයු කාලය අවසන්වීමේ ගැටලුවට මුහුණ දීමට සිදු නොවේ. බැටරි මාරු කිරීමේ තාක්ෂණය යටතේ අලුත් බැටරියක් යෙදීම සඳහා ගතවනුයේ විනාඩි 2ක් වැනි සුළු කාලයක් පමණි. සාමාන්‍යයෙන් විදුලි බලයෙන් ධාවනය වන වාහනයක වියදම් අධිකම කොටස වන්නේ බැටරියයි. මෙම නව ක්‍රමවේදය යටතේ බැටරිවල මෙන්ම බැටරි මාරු කිරීමේ මධ්‍යස්ථානවල හිමිකාරීත්වය LeMS සමාගම සතු වන නිසා, සාමාන්‍ය ත්‍රිරෝද රථ විදුලි රථ බවට පරිවර්තනය කිරීමේදී ත්‍රිරෝද රථ හිමියන් බැටරි සඳහා මුදල් ගෙවිය යුතු නොවේ. ඔවුන් මුදල් ගෙවිය යුතු වන්නේ ත්‍රිරෝද රථය ධාවනය කරවීම සඳහා අවශ්‍ය වන බලශක්තිය සඳහා පමණි. මෙය ශ්‍රී ලංකාව තුළ තිරසර ප්‍රවාහන ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා දරන උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. කාබන් විමෝචනය අවම කරමින් වායු දූෂණය පිටුදැකීමේ බරපතළ අවශ්‍යතාව හඳුනාගෙන මෙම නව විසඳුම හඳුන්වා දීමට LeMS නිර්මාතෘවරුන් පියවර ගෙන තිබේ.

“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් පමණ තිබෙනවා. ඒවා දිනකට පෙට්‍රල් ලීටර් මිලියන 5.5ක් තරම් විශාල ප්‍රමාණයක් දහනය කරනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට ‘e-wheel’ සංකල්පය අතිශයින් වැදගත් වේවි. තම පවුල්වල ප්‍රධාන ආදායම් උපයන්නන් වන මෙම ත්‍රිරෝද රථ හිමියන්ට, රු. 450,000/-ක් වැනි මුදලක් ආයෝජනය කිරීම මඟින් මසකට රු. 20,000/- කට ආසන්න මුදලක් ඉතිරි කරගැනීමට පුළුවන්. මින් ඔවුන්ටත් රටටත් වාසි රැසක් ලැබෙනවා. විශේෂයෙන්ම ඉන්ධන, ලිහිසි තෙල් සහ අමතර කොටස් ආනයනය සඳහා වැය වන විශාල මුදලක් මෙමඟින් ඉතිරි කරගැනීමට පුළුවන්, LeMS කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

t

o

p